saragoyya (සරා ගොයියා )

Thursday, March 1, 2012

හපුච්චේ මමනං මස් මාංශයෙන් තොර මනුස්සයා... ඒ කෝක වෙතත් අපේ ගමෙත් මස් මාංශ ගිල දමන මිනිස්සු එමටයි.එහෙව් එකේ ඇත්තටම මස් කෑම ගැන බුද්ධ දේශනය තුල මොනවගේ දේවල්ද කියල තියෙන්නේ කියල බලමු පොඩ්ඩක් .


බුදු දහම අප කීර්තියට පත් කිරීම සඳහා වෛර චින්තනයේ නියුතු සුළු පිරිසක් මාංශ අනුභවය පිළිබඳව නිවැරදි බෞද්ධ ඉගැන්වීම් නොදැන විකෘති   මත වාදයන් ඉදිරිපත් කරමින් සිටිති.

ඒ නිසා මේ පිළිබඳව ඇති බෞද්ධ මුලාශ්‍රයන්ගෙන් හා බෞද්ධ විද්වතුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

දැනුවත්වෙමු, වෛරය, ක්‍රෝධය තුරන් කරමු. සාමකාමී, හා සමගියෙන් බැඳුනු මව්බිමක් ගොඩනගමු.

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ
ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ 238 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

ප්‍රශ්න අංක 100: චුන්දකර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන්වූ සුකරමද්දවය කුමකින් කෙසේ පිළියෙළ කරන ලද්දක්ද?

“සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියෝදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” යනුවෙන් ‘සුකරමද්දවය’ යනු ඉතා ළපටිද නොවූ ඉතා තරුණද නොවූ තනිව වාසය කල සුකරයකුගේ මෘදුවූ ද, සිනිඳුවූ ද මසින් පිළියෙළ කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ කියා තිබේ. මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි. මස් වැළඳුහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයක යැයි සැලකු අය අතීතයෙහි ද වුහ. ඔවුන්ගෙන් ඇතමෙකු සුකරමද්දවය, මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත්, ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙළ කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සුත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සුකරමද්දවය හතු වර්ගයකින් පිළියෙළ කළ ආහාරයකැයි කියති. සුකරමද්දවය ගැන මෙසේ නානා මත පහළ කරන අයට ඒවා ස්ථීර කිරීමට කිසිම සාක්ෂියක් නැත. සුකර මාංසය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සුකර මාංසය බුදුන් වහන්සේ වැළඳුහයි කීමට විරුද්ධ වෙති. ආහාරයෙන් සුද්ධියක් ඇති වන බව බුදුවරයන් වහන්සේලා නො වදාරන්නාහ. ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංසයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා, සුකරමද්දවය මසින් පිළියෙළ කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍යමාංස නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක නො දැක්විය හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකි ය.”

“සුකර මද්දවය: තරුණ ඌරන්ගේ මාංශය; පැසි ඌරු මස. (බෞද්ධ ශබ්ද කෝෂය - 1644 වැනි පිටුව)

පාතකඩ භික්ෂු අභ්‍යාස විද්යාලාධිපතිව වැඩ විසු රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤානසීහ මහා නාහිමි පාදයන් ගේ ගැටළු තැන් ග්‍රන්ථයේ 85 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.                 

“කෘෂිකර්මයට මස් පිණිස සතුන් ඇති කිරීම හා බිත්තර සුලභ කිරීම ද අයත් වන බව අපි දනිමු. එසේ ම වගාව රැක ගැනීම පිණිස ගොවියාට කරන්නට සිදු වන කුඩා සතුන් විනාශ කර දැමීමේ ප්‍රාණ ඝාතය ගැන ද අපි දනිමු. ධීවර කර්මාන්තය එක්තරා ධනොපාර්ජන ක්‍රමයක් බව ද දනිමු. මේ සියල්ලම බාහිර හැඩහුරුවෙන් තරමක වෙනසක් ඇති වුවත් එදත් අදත් මිනිසාගේ ජීවනෝපාය සලසාදීමේ මාර්ග හැටියට සැලකුණු හම්බ කිරීමේ මාර්ගයය. අප එකිනෙකාගේ ප්‍රතිපත්ති පිරීම සඳහා මේ එකද ව්‍යාපාරයක් බාධකයක් හැටියට සැලකිය නොහැක. බුදුන් දවස සතුන් මරන්නෝ මිනිසුන්ට මස් සැපයුහ. මහජනයා ඒ මස් මිලදී ගෙන තම තමන් පරිභෝග කළා පමණක් නොව බුදුන් ඇතුළු මහසඟනට ඒ මස් සහිත ව දානයද පිරිනැමුහ. මගේ මේ මතය ප්‍රතික්ෂේප කරන සමහර පුද්ගලයන් සිටිය හැකිය. නමුත් මේ මගේ පිළිගැනීමයි. ඔවුන් දක්වන හේතු ප්‍රත්‍යය ක්‍රමය උඩ ප්‍රාණඝාතයෙන් තොර ව වතුර ටිකක් බීමට වත් නොහැකියැයි මට අදහස් වෙයි. එය එක පැත්තක තිබේවා. මිනී මැරිලි නතර කර ගත නොහැකි තැනක මස් කෑම නතර කරන්නට බණ කියන්නට තරම් පිස්සුවක් මට වැළඳී නැත.” 

ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමි විසින් සකස් කරන ලද බුදු දහමේ පැන විසඳුම්-1 නම් ග්‍රන්ථයේ 189-190 පිටු වලින් උපුටාගත් විස්තර පහතින් දක්වා ඇත්තෙමු.

22 - ප්‍රශ්නය: විකිණීම සඳහා වෙළඳ පොලෙහි තබා ඇති මස් මාංශ මිලයට ගෙන පරිභෝග කිරීම පාපයක් වේද?

පිළිතුර:- අපේ ධර්ම ග්‍රන්ථයන්හි පස් පව්, දශ අකුශල් යැයි අත්හලයුතු කරුණු පසළොසක් පෙන්වා ඇත. එසේම ආජීවය කෙලෙසන ජීවන මාර්ග පසක් පෙන්වා ඇත.
o  ජීවත්වීම සඳහා මත්පැන් ආදී මදයට ප්‍රමාදයට හේතුවන දෑ විකිණීම,
o  ජීවත්වීම සඳහා මස් මාංශ වෙළඳාම් කිරීම,
o  ජීවත්වීම සඳහා සත්ව ජීවිත වලට හානිකර වෂ  විෂ වර්ග විකිණීම,
o  ජීවත්වීම සඳහා කෙනෙකුගේ ජීවිතවලට හානිකර අවි ආයුධ විකිණීම,
o  ජීවත්වීම සඳහා සතුන් වෙළඳාම් කිරීම (මසට සතුන් විකිණීම).
යන මේවා බෞද්ධයාගේ ආජීවය කිලිටි වන අදැහැමි වෙළඳාම්ය. මස් මාංශ අනුභවය පවක් වන්නේ මාංශ ලෝලත්වයෙන් අධික කෑදර කමින් පරිභෝග කලොත්ය. පළතුරු එළවලු බුදින්නෙක් වුවද ඒවා කෑදර කමින් පරිභෝග කරයිනම් නම් සිදුවන්නේද සිත කිලිටිවීමයි. ලෝභ දෝෂ මෝහ යන තුන  අකුශල් මුලයෝය. ඒවා මුල් වීමෙන් කරන සෑම ක්‍රියාවක්ම සිත කිලිටි කරන්නකි. සාමාන්‍ය පෘතජ්ජනයෙකුට දවස පුරාම ඇතිවනුයේ අකුශල සිතය. එය සාමාන්‍ය ස්වභාවයයි. අප කෑම බීම සඳහා වෙළඳ පොලෙන් ගෙන එන දේ පිළිබඳව සිතා බැලුවහොත් නොයෙකුත් අදැහැමි ක්‍රමවලින් සේවකයින් තලා පෙලා නිෂ්පාදනය කරන දේවල් විය හැකිය. මහා පරිමාණ ගොවිතැන් කරන රටවල් ගොවිතැන් වලට ගොවිබිම් වලට ටොන් ගණන් වෂ විශ යොදා අනන්ත කෘමීන් ක්ෂුද්‍ර ජීවීන් වනසා ලබාගත් අස්වැන්නකි අප මුදලට ගනු ලබන නිර්මාංශ ආහාර වන වී, මුං, කඩල, පරිප්පු මෙන්ම එළවලු පළතුරු යනාදියත්. ඒ බව අද නොදන්නා කෙනෙක් නැත. එහෙත් අප එම ද්‍රව්‍යයන් මිලයට ගන්නා බැවින් අවුරුදුපතා ඉල්ලුමට සරිලන සේ නිෂ්පාදකයෝ තව තවත් ඒවා නිපදවති. පාරිභෝගිකයාට එයින් පවක් වේද? මස් මාංශ සත්ව මාංශයන් බව දනිමු. ඇතැම් විට අප මැස්සෙක් මදුරුවෙක් තරම් සතෙකු හෝ නොමරන පරම අවිහිංසාවාදී අයද වියහැක. නමුත් මේ ආහාර මිලයට ගන්නා කිසිවෙකුට ප්‍රාණඝාත අකුශලයක් හෝ සත්ව හිංසාවට අනුබලදීමක් සිදුනොවේ. මන්ද? අපතුළ කිසිසේත් එවන් චේතනාවන් කැලැම නැති හෙයිනි. යම හෙයකින් මස් මාංශ අනුභවය සත්ව ඝාතනයට අනුබලයක් වීමෙන් පාරිභෝග කරන්නාට පාපයක් අයත්වේ නම්, කෘමි නාශක යොදා නිපදවන සෑම ද්‍රව්‍යයක්ම පරිහරණය කරන්නාටද පාපයක් සිදුවේ.
අප යම් ක්‍රියාවක් කිරීමේදී හටගන්නා චේතනාවයි කර්මයක් බවට පත්වන්නේ. ඒවා වැල ගිය තැන් මුල ගිය තැන් සොයා ගොස් කර්ම සෑදීමක් නම් සිදු නොවේ. අප යම් මාංශ නොවන ආහාරයක්‌ අනුභව කිරීමේදී ඇතිවන චේතනාවට වැඩි වෙනසක් මාංශ ආහාරයක්‌ අනුභව කිරීමේදී ඇතිවේ යැයි නොපෙනේ. කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ අනුභව කිරීමට වැඩි පවක් (කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ කෑම පවක් නම්) නුතනයෙහි අතිබහුතරයක් එළවළු පළතුරු කන අයට සිදුවේ. මෙය මැදිහත්ව සිතා බලන්න.
බුදුන් වදාළ පෙළ දහම තුල සත්ව ඝාතනය පවක් ලෙස දක්වා ඇතිමුත් මාංශ අනුභවය පවක් වන බවක් වදාළ තැනක් අප නොදුටිමු. එසේ පවක් වන්නේ නම් මුලින්ම එය පනවනුයේ භික්ෂුන්ටය. දෙව්දත්ගේ පඤ්ච වරයෙන් එකකි භික්ෂුන් දිවිතෙක් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය යන්න. ඒත් ගිහියන්ට නොව පවිද්දන්ටය. ඇරත් බුදුහු එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කළහ. මේ පිලිබඳ කරුණු දැකීමට නම් විනය හා සුත්‍ර පිටකය තරමක් හෝ කියවිය යුතුය. නමුත් අපේ බොදුනුවන් බුදුරදුන්ටත් වඩා අවිහිංසාවාදී බවක් පෙන්නුම් කළත්, අවිහිංසා බණ දේශනා කළත් පන්සිල් ටික හෝ අවංකව රකින්නෝ කී දෙනෙක් සිටිද්ද?
හේතුව: සතුන් මැරීමයි. ඵලය: මස් මාංශයි. යම් කලක හේතුව නැති කළහොත් එදාට ඵලයද නැතිවේ. බුද්ධ දේශනාව මැදුම් පිළිවෙතකි. කිසිම දෙයක අන්තගාමී බවෙක් ඇත්නම් ඒවා බුදු බණ නොවේ. අවිහිංසාවාදී දෙසුමක් පමණි. මේ දෙකම බෞද්ධයා තේරුම් ගත්විට ජීවත්වීම බරක් නොවේ. අත්‍යවශ්‍ය නොවන වාද භේද ඇතිකරමින් බුද්ධ දේශනාවට ඌන පුරණ එක්කිරීමට වඩා අපට සමාජය දැහැමි කිරීම සඳහා කලයුතු කාර්යයන් කොපමණ තිබේද? තමා ධාර්මිකව ජීවත් වෙමින් පන්සිල් රකිමින් වෙළඳපලෙන් ගත හෝ ගෙනවිත් දුන් හෝ කවර මාංශයක් වැළඳුවත් (භික්ෂුනට අකැපයයි දේශිත මාංශ හැර) එය ස්වර්ග සැපයට හෝ මොක්ෂයට බාධාවක් නොවන බවයි මගේ අදහස.


ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්ති ධම්මික හිමි (කැළණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙහි ශාස්ත්‍රපති උපාධිධාරී) විසින් ලියන ලද “Good Questions, Good Answers” නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ දහම් ගැටළු නම් පොතේ 66-67 වැනි පිටු වලින් උපුටා ගත් තොරතුරු පහතින් දක්වා ඇත්තෙමු. (පරිවර්තක: ශාස්ත්‍ර විශාරද විමලසේන විතාන පතිරණ).

ප්‍රශ්නය: බෞද්ධයන් අවශ්‍යයෙන්ම නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නොවන්නේද?
පිළිතුර:- බෞද්ධයන් අවශ්‍යයෙන්ම ශාක භක්ෂකයන් නොහොත් නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නැත. බුදුන් වහන්සේ නිර්මාංශ ආහාර පමණක් වැළඳු අයෙකු නොවූ සේක. උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ටද ශාක භක්ෂක ආහාරයක්‌ පමණක් වළඳන්න යැයි දේශනා නොකළ සේක. යහපත් බෞද්ධයන් බොහෝ දෙනෙක් අද පවා මස් මාළු සහිත ආහාර බුදිති.

ප්‍රශ්නය: ඔබ මස් ආහාරයට ගන්නේ නම් එමගින් සතෙකුගේ මරණයට අනියම් වශයෙන් වගකිව යුතුවේ. එය පළමු ශික්ෂා පදය කඩ කිරීමක් නොවන්නේද?
පිළිතුර:- ඔබ මාංශ ආහාරයක්‌ ගත්විට, සත්වයෙකුගේ මරණය ගැන ඔබ අනියම් හා අල්ප වශයෙන් වගකිව යුතු බව සත්‍යයකි. එහෙත් ඔබ එළවළු ආහාරයට ගන්නා විටද තත්වය මෙබඳුය. ඔබේ ආහාරයට ගන්නා එළවළු කෘමි සතුන්ගෙන් බේරා ගැනීම සඳහා ඒවාට කෘමි නාශක සහ විෂ යෙදීමට ගොවියාට සිදු වේ. ඒවා ඔබේ ආහාරයට නිසි වන අයුරු බේරා ගන්නේ ඒ අන්දමින් කෘමිනාශක යෙදීමෙනි. ඔබේ බඳ පටියට හෝ අත් බෑගයට හෝ බෙරයට හම් හම් ලබා ගැනීමටත් ඔබ පාවිච්චි කරන සබන් සඳහා තෙල් ලබා ගැනීමටත් මේ හැරුණු විට තවත් දහසකුත් එකක් නිෂ්පාදන සඳහා දළ ද්‍රව්‍යය ලබා ගැනීමටත් සතුන් මැරීමට සිදුවේ. වෙනත් ප්‍රාණියෙකුගේ මරණය සඳහා අනියම් වශයෙන් හේතු කාරක නොවී ජීවිතය ගෙන යාමට අපහසුය. ඔබ පළමු වැනි ශික්ෂා පදය සමාදන් වීමෙන් ප්‍රතිඥා දෙන්නේ කෙලින්ම ප්‍රාණ ඝාතය කිරීමේ වගකීමෙන් ඔබ මිදෙන බවටය.

ප්‍රශ්නය: මහායාන බෞද්ධයන් ආහාර පිණිස මස් ගන්නේ නැහැ නොවේද?
පිළිතුර:- එය නිවැරදි තත්වය නොවේ. චීනයෙහි පවතින මහායාන බුද්ධාගම නිර්මාංශ ආහාරය පිළිබඳව වැඩි වැදගත් කමක් දක්වයි. එහෙත් ජපානයෙහි හා තිබ්බතයෙහි මහායාන භික්ෂුන් මෙන්ම ගිහියෝද සාමාන්‍යයෙන් මාංශ ආහාරයට ගනිති.

ප්‍රශ්නය: එහෙත් බෞද්ධයා නිර්මාංශ ආහාරයට ගැනීම යෝග්‍යයයි  මම කල්පනා කරමි.
පිළිතුර:- නිර්මාංශ ආහාර ගැනීමේ පුරුද්දක් දැඩි ලෙසම අනුගමනය කරන මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. ඔහු ගති ගුණ වශයෙන් ආත්මාර්ථකාමී වංක පහත් පැවැතුම් ඇති තැනැත්තෙකි. එසේම නිර්මාංශ ආහාර නොගන්නා එහෙත් පරාර්ථකාමී අවංක ත්‍යාගශීලී ගති ඇති කරුණාවන්ත මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. මේ දෙදනා අතරින් වඩා යහපත් බෞද්ධයා කවරෙක්ද? අවංක හා කරුණාවන්ත පුද්ගලයාම වඩා යහපත් බෞද්ධයා වේ. ඇයි? මක්නිසාද යත් ඔහු හිතක් ඇති මනුෂ්‍යයෙකු හෙයිනි. නිර්මාංශ ආහාරයට පුරුදුව සිටින තැනැත්තෙකු අපිරිසිදු හදවතක් ඇත්තෙකු විය හැකි සේම, මාංශ ආහාරයට ගන්නා තැනැත්තෙකු පිරිසිදු හදවත් ඇත්තෙකු විය හැකිය. බුදුන් වහන්සේගේ ධර්මය අනුව වැදගත් වන්නේ, ඔබේ සිතිවිල්ලෙහි පාරිශුද්ධ භාවය විනා ඔබේ ආහාරයෙහි අඩංගු දේ නොවේ. බොහෝ බෞද්ධයෝ මත්ස්‍ය මාංශ ආහාර කොට නොගැනීමට බොහෝ සෙයින් පරීක්ෂාකාරී වෙති. එහෙත් ඔවුහු ආත්මාර්ථකාමය, වංක බව, කෘරත්වය හෝ ද්වේෂය මැඩ පැවැත්වීමට ඒ අන්දමින් පරීක්ෂාකාරී නොවෙති. පහසු කටයුත්තක් වන ආහාරය වෙනස් කිරීමට ඔවුහු පෙළඹෙතත්, අපහසු කටයුත්තක් වන ඔවුන්ගේ සිත වෙනස් කර ගැනීමට ඔවුහු උත්සාහ නොකරති.     






 ඩී. ඒ. එන්. සේනාරත්න මහතා විසින් ලියන ලද බුදුන් නොවදාළ ධර්ම යන ග්‍රන්ථයේ 77 වැනි පිටුවේ සිට උපුටා ගත් කොටස් පහතින් දක්වා ඇත්තෙමු.දෙහිවල ඇන්ඩර්සන් පාරේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක තැන්පත් පුජ්‍ය කිරම විමලජෝති හිමියන් හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් මෙය අගනා බෞද්ධ ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දී තිබේ. 

යමෙක් ප්‍රාණඝාත අකුසලය කිරීමේදී ඝාතනය කරන ලද ජීවියා විශාල සිරුරක් ඇත්තෙක්ද, කුඩා සිරුරක් ඇත්තෙක්ද, ගොඩ වසන්නෙක්ද, දිය වසනෙක්ද, එසේත් නැති නම් පාදවලින් ගමන් කරන්නෙක්ද, බද ගා යන්නෙක්ද වැනි භේදවලට අනුව ප්‍රාණඝාත අකුසල කර්මයෙහි අඩු වැඩි වීමක් ඇතැයි නොසිතමි. එහෙත් විනාශ කරන ලද ජීවියාගෙන් සමාජයට සිදුවෙමින් පැවතියාවුත් අනාගතයේදී සිදුවීමට තිබුනාවුත් සේවාවනට අනුව එම ජීවියා ඇගයෙන මට්ටමේ උස්  පහත්කමට අනුව අකුසල කර්මයේ බරපතලකම අඩු වැඩි විය හැක. වෙනත් වචන වලින් කියතොත් විනාශකරන ලද ජීවියාගේ විනාශය නිසා සමාජයට සිදුවන පාඩුවේ ප්‍රමාණය වැඩිවෙත්ම අකුසල කර්මය ද බරපතල වනු ඇත.
සත්ව මාංශ අනුභව කිරීම, සත්ව ඝාතනයට හේතුවන හෙයින් එය ප්‍රාණඝාතයට අනියම් මගින් අනුබල දීමක් බව ද ඒ නිසාම සත්ව මාංශ අනුභව කරන්නාට ප්‍රාණඝාත අකුසලයේ කොටස් කාරයෙකු වන්නට සිදුවන බව ද බෞද්ධයෝ විශ්වාස කරති. එම විශ්වාසය තර්කානුකුලය. එහෙත් සත්ව මාංශ අනුභවයට අදාළ, බෞද්ධයන්ගේ ජන සම්මත විශ්වාස බොහොමයක් තර්කානුකුල නොවේ.
යම්කිසි පෙදෙසක ජනයාගේ සත්ව මාංශ ආහාරයට ගන්නා වාර ගණන වැඩිවීම නිසා හෝ සත්ව මාංශ ආහාරයට ගන්නා ජන සංඛ්‍යාව වැඩිවීමෙන් හෝ එම පෙදෙසේ සත්ව මාංශ අලෙවිය දෙගුණ වුයේ යැයි සිතමු. එසේ දෙගුණ වන ඉල්ලුම පියවරෙන් පියවර ආපසු ගොස් සත්ව ඝාතකයා දක්වාම යා යුතුය. එවිට සත්ව ඝාතකයා එම අතිරේක ඉල්ලුම සැපයීම සඳහාත් තම ව්‍යාපාරය වඩාත් දියුණු කර ගැනීම සඳහාත් අතිරේකව සත්වයින් ප්‍රමාණයක් ඝාතනය කරනු ඇත. එම අතිරේක සත්ව ප්‍රමාණය ඝාතනය වන්නේ යට කී පෙදෙසේ සත්ව මාංශ අලෙවිය දෙගුණ වීමට හේතුවූ ජනතා කොටස්වල ක්‍රියාකාරිත්වය නිසාය. එවිට එම අතිරේක ප්‍රාණවල ඝාතන කර්මයේ වගකීම එක්තරා ප්‍රමාණයකට හෝ එම ජනතා කොටස් මත ද පැවරෙනු ඇත.
මේ අනුව සත්ව මාංශ අනුභව කිරීම, සත්ව ඝාතනයට කෙලින්ම අනුබල දීමක් වන හෙයින්, එය ප්‍රාණඝාත අකුසල කර්මයේ කොටස් කරුවෙකු වීමටද හේතුවන බවට ඇති විශ්වාසය තර්කානුකුල වුවද, එයටම සම්බන්ධව ජනතාව තුල පවත්නා වැරදි විශ්වාසයක් ද වේ. එනම් මාළු, කරවල, ජාඩි, වැනි ජලජ සතුන්ගේ මාංශ අනුභව කිරීම ගව, එළු, ඌරු වැනි ගොඩබිම වසන සිව්පා සතුන්ගේ මාංශ අනුභව කිරීම තරම් බරපතල පාප කර්මයක් නොවන බවට ඇති විශ්වාසයයි.
සමහර උග්‍ර බෞද්ධ උපාසක උපාසිකාවෝ බොහෝ අවස්ථා වලදී “අපි නම් අපේ ගෙවල්වලට කවදාවත් මසක් ගේන්නෙවත් නෑ. ඔය ඉඳ හිටලා එහෙමත් වෙලාවක මුදු මාළු ටිකක්, කරෝල ටිකක් ගත්තොත් මිසක”, කියනු අප කොතෙකුත් අසා ඇත. මෙවැනි ප්‍රකාශවලට හේතු වී ඇත්තේ “ගව ඝාතන විරෝධී ව්‍යාපාර”, “ගව පෙරහැරවල්”, “මරණයට කැපවූ ගවයින් මුදා හැරීම” යනාදීන් ඔස්සේ ප්‍රාණඝාතය සිදුවන්නේ ගවයා ප්‍රමුඛ සිවුපා සතුන් ඝාතනය කිරීමෙන් ය යන මතය ඔවුන් තුලට කාවැදී තිබීම විය යුතුය. හින්දු භක්තිකයින් ශුද්ධවූ සත්වයෙකු ලෙස සලකන්න වුද, සිංහල ගැමියාට ගොවිතැනට, කරත්තයට, හා කිරට බෙහෙවින් පිහිට වන්නා වූද ගවයා අනෙකුත් සිව්පා සතුනට වඩා විශේෂ ස්ථානයක ලා සැලකීම සාධාරණ වුවත්, සිවුපාවුන් හා මත්ස්‍යයින් අතර ජීවිත අගයේ වෙනසක් ඇතැයි සැළකීමට හේතු නොපෙනේ.    
සංඛ්‍යාත්මකව සැලකීමේදී, මත්ස්‍යයකුගේ මරණය නොව සිව්පාවෙකුගේ මරණය නම් අඩු ලංසුවෙන් සැලකීමේ සාධාරණත්වයක් ඇත. ගවයෙක්, එළුවෙක්, ඌරෙක්, ගෝනෙක්, මුවෙක්, වැනි සත්වයෙකුගේ ශරීරයේ මස් කි.ග්‍රෑ. 100ක් ඇතැයි සිතමු. එවිට මස් ග්‍රෑම් පන්සියයක් මිළදී ගෙන යන්නා, ගෙන යන්නේ සතාගෙන් 1/200න් කොටසක් පමණි. ඔහුගේ වගකීම ඒ සතාගේ ප්‍රාණයෙන් 1/න් කොටසකට පමණි. ඔහු ගෙදර ගෙන යන මස් ග්‍රෑම් පන්සියය සකස් කොට ගෙදර දහ දෙනෙක් එය ආහාරයට ගන්නේ යැයි සිතමු. එවිට ඒ එක්කෙනෙකුගේ වගකීම අර සතාගේ ප්‍රාණයෙන් 1/200න් 1/10 කට පමණි. හෙවත් 1/2000න් කොටසකට පමණි. ඒ අනුව සම්පුර්ණ ප්‍රාණයක වගකීම පැවරෙන්නේ එවන් අයෙකු ආහාර වේල් 2000ක් සඳහා මස් ආහාරයට ගත් පසුවය.
මාළු කුරියකුගේ බර කිලෝ පහක් යැයි සිතමු. එවිට එම මාළුවාගෙන් ග්‍රෑම් පන්සියයක් ගෙන යන්නා ගෙන යන්නේ සතාගෙන් 1/10න්කොටසක් පමණි. ඔහු ගෙදර ගෙන යන මාළු ග්‍රෑම් පන්සියය සකස් කොට ගෙදර දහ දෙනෙක් එය ආහාරයට ගත්තේ යැයි සිතමු. එවිට ඒ එක් එක්කෙනාගේ වගකීම අර සතාගේ ප්‍රාණයෙන් 1/10න් 1/10 කොටසක් එනම් 1/100න් කොටසක් සඳහා පමණි. සම්පුර්ණ ප්‍රාණයක වගකීම පැවරෙන්නේ එවන් අයෙකු මාළු සහිතව ආහාර වේල් සියයක් ගත් පසුවය. ආහාරය සඳහා වියළි හෝ අමු හාල් මැස්සන් ග්‍රෑම් 500ක් ගෙදර ගෙනගොස් එය පිළියෙළ කොට පවුලේ සෑමදෙනා එක්ව එය ආහාරයට ගන්නේ යැයි සිතමු. එක් අයෙකුගේ කොටස වශයෙන් හාල් මැස්සන් 10 දෙනෙකු ලැබුනේ නම් ඔහුට එම ආහාර වේල නිසා ප්‍රාණ 10 ක වගකීම පැවරේ. තවත් අයෙක් ආහාරය සඳහා කුනිස්සන් ග්‍රෑම් 500ක් ගෙන ගොස් එයින් කුනිස්සන් සම්බෝලයක් සකස් කොට පවුලේ සියළු දෙනා එකතුව එය ආහාරයට ගත්තේ යැයි සිතමු. එක් අයෙකුගේ ආහාර කොටස සඳහා කුනිස්සන් 100ක් ලැබුනේ නම් ඔහුට එම ආහාර වේල නිසා ප්‍රාණ සියයක වගකීම පැවරේ.

ආහාර වර්ගය
ආහාර වේලක් නිසා වනසන ප්‍රාණ සංඛ්‍යාව
1.   කුනිස්සන්
100 යි
2.   හාල්මැස්සන්
10 යි
3.   මුහුදු මාළු
1/100 යි
4.   මස්
1/2000 යි

ඉහත සංඛ්‍යාවලට අනුව, ප්‍රාණඝාතය අංශයෙන් සලකා බලන විට ආහාරයට මස් වර්ගයක් අනුභව කිරීමට වඩා කුනිස්සන් අනුභව කිරීම දෙලක්ෂ වාරයක පාපයකි. හාල් මැස්සන් අනුභව කිරීම විසි දහස වාරයක පාපයකි. මුහුදු මාළු අනුභව කිරීම 20 වාරයකි.
එහෙත් පන්සිල් රකින, ප්‍රාණ ඝාතයට බියක් දක්වන ඒ නිසාම කිසිම වර්ගයක දඩමසක් ගෙය තුළට වත් නොගන්නා අපේ ශ්‍රද්ධා සම්පන්න උපාසක උපාසිකාවෝ වගක් නැතිව හාල් මැස්සෝ ඉස්සෝ කුනිස්සෝ උයති, පිහති, වැළඳීති.
නුතන බෞද්ධ මතවාද හා ශාසනික අර්බුද නම් බන්දුල අත්තනායක මහතා ලියු කෘතියෙන් 35 වැනි පිටුවේ සිට පහත සඳහන් කොටස උපුටා දක්වා ඇත්තෙමු.

ධර්ම සාකච්චාවලදී අපෙන් නිතර අසන තවත් ප්‍රශ්නයකි මේ මස්-මාළු කෑම සුදුසුද? නුසුදුසුද? කියන කාරණය. අපේ ත්‍රිපිටකයට අයිති බණ පොත්වල මේ පිළිබඳව දකින්නට ඇති දේ කෙටියෙන් මෙසේ දක්වමු. මජ්ජිම නිකායේ මජ්ජිම පන්නාසකයේ ජීවක සුත්‍රයේ සරල සිංහල තේරුමයි මේ.
“එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ජීවකයන්ගේ අඹ උයනෙහි කරවන ලද විහාරයෙහි වාසය කරන කල්හි දිනක් ජීවක තෙමේ බුදුරජානන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණ මෙසේ ඇසීය. ස්වාමීනි, මෙවැනි කතාවක් මා විසින් අසන ලදී. කුමක්ද යත්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා මරණ ලද සතුන්ගේ මස් උන්වහන්සේ වලඳිති” යි යන කතාවය.   
මේ කතාව ඇත්තක්ද? නැතහොත් ඔබ වහන්සේට නැගු අභූත චෝදනාවක්ද? එවිට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙමින් ජීවකය, මෙය මා විසින් කියන ලද්දක නොවේ. ඔවුහු මට බොරුවෙන් චෝදනා කරනු පිණිස මෙය කියති.
ජීවකය, මම දැක්ක හෝ ඇසු හෝ සැක සිතූ මස් අනුභවය නොකළ යුතු යැයි කියමි. මේ කාරනා තුනෙන් යුක්ත නොවූ මාංශය පමණක් වැළඳිය යුතු යැයි කියමි. හෙවත්, නොදක්නා ලද, නොඅසනා ලද, සැක නොකළ මාංශය පමණක් වැළඳිය යුතු යැයි කියමි.
ජීවකය, මේ ශාසනයෙහි, යම් භික්ෂුවක් යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වාසය කරයි. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. දෙවන, තුන්වන, සතරවන, උද-යට-සරස දිසාවන් පතුරුවා වාසය කරයි. ඒ භික්ෂුව වෙත දායකයෙක් පැමිණ හෙට දවසට දනට ආරාධනා කරයි. භික්ෂුව එය පිළිගනියි. පසු දින දායකයාගේ ගෙදරට වැඩ දානය වළඳයි. මෙසේ වළඳන භික්ෂුවට මම ප්‍රණීත පිණ්ඩපාතයක් වළඳන්නෙමි යන සිතක් පහළ නොවෙයි. එහි නොඇලී, නොගැටී, සිහි නුවණින් එය වළඳයි.
ජීවකය, එය ඒ භික්ෂුවට හෝ අන්‍යයන්ට දුක් පිණිස වන්නේ යැයි සිතන්නෙහිද?
නැත ස්වාමීනි, මට එසේ නොසිතෙයි, යනුවෙන් ජීවක පිළිතුරු දුන්නේය.
ජීවක, ඒ භික්ෂුව නිවරදිවු ම ආහාරය ගත්තේ නොවේද?
එසේය ස්වාමීනි. බ්‍රහ්ම තෙම මෛත්‍රී විහරණ ඇත්තේයැයි මා විසින් අසන ලදී. ඔබ වහන්සේද මහා බ්‍රහ්මයා මෙන් මෛත්‍රී විහරණ ඇති බව මා විසින් ඇසින්ම දක්නා ලද්දේයයි ජීවක කීය.
ජීවක සුත්‍රයේ බුද්ධ ශ්‍රාවකයින් වහන්සේලාට දානය සඳහා මස් පිදීම පිළිබඳව පැහැදිලි නිරවුල් අදහස ගැබ්වී ඇත.
ඛුද්දක නිකායට අයත් අපදාන අතරවූ “දේවරතනිය” ථේරාපදානයේ පෙර භවයක එම භික්ෂුව “මහ වනයෙහි මුව වැද්දෙක් වූ මම පුජාර්හ වූ බුදු රජුන් (පුරාණ බුදු රජාණන් වහන්සේ නමකි) දිටිමි. එම විපස්සි බුදු රජුන් වෙත මස් කැබැල්ලක් පිදු පිනෙන් ලෝකයට ප්‍රධානියෙක් වූවෙමි. මේ මස් දානය නිසා මට කාය චිත්ත සම්පත් දෙක ලැබිණ. එය නිවන් ලැබීමට උපකාර විය. මම සියලු සම්පත් විඳිමි. මස් දානය නිසා මගේ ශරීරයද මෘදුය. සියුම් ප්‍රඥාව ද ලබමි” යි ප්‍රකාශ කොට ඇත.
මෙබඳුම අවස්ථාවක් මේ ථේරගාථා අත‍ර “සුචින්තික” ථේරාපදානය තුළද දක්නට ඇත.
“කෙසර සිංහයෙකු මෙන් නිර්භීත මම මහා වනයෙහි හැසිරෙන වද්දෙක්ව සතුන් මරා ජීවත්වීමි. මට වැඩ කැමති අත්ථදස්සි බුදුරද මා සොයා පර්වතයට වැඩියේය. තිත් මුවෙකු මරා කෑමට සුදානම් වනවිට බුදු රජාණන් වහන්සේ පිඬුසිඟමින්එහි වැඩිසේක. උතුම් මස ගෙන මම උන්වහන්සේට පිදීමි. උන්වහන්සේ එය පිළිගෙන අනුමෝදනා කළසේක. මම එයින් සතුටුව පර්වතයට ගොස් පසුව එහිදී මිය ගියෙමි. මස් දානයෙහි පිනෙන් හා සතුටු සිතින් එක්දහස් පන්සීය කපක් දෙව්ලොව උපන්නෙමි”
විනය පිටකයට අයත් නිස්සග්ගිය පාචිත්ති අතර පස්වැන්නට අදාළ නිදාන කතාවේදී මෙබඳු කොටසක් දක්නට ලැබේ.
“තථාගත බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙක උප්පලවන්නා භික්ෂුණිය පෙරවරු කල්හි සැවතෙහි පිඬු පිණිස හැසිර පිඬු වළඳා සවස් කලැ දිවා විහරණය පිණිස අන්ධ වනයට ගොස් ගසක් මුල හිඳ සමවත් සුවෙන් පසු වුවාය. මේ වේලාවෙහි සොර මුලක් සොරකම් කොට බඩු හා අහර පිණිස මස්ද රැගෙන අන්ධ වනයට පිවිසියාහුය. සොරදෙටු තෙමේ දුරදීම  තෙරණිය දැක මාගේ පුත්‍රාදීහු මැයට පීඩා කරතියි සිතා ඇය මඟ හැර වෙන මගකින් ගියේය. එසේ ගොස් කිසියම් ස්ථානයක සිට ගෙන ගිය මස් ආදිය පිස එයින් අගනා කොටසින් මස් මුලක් බැඳ තෙරණිය සමීපයෙහි ගසෙක එම මස් මුල එල්වා මෙය දක්නා ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ රැගෙන යේවායි කියා සොර දෙටු තෙම යන්නට ගියේය.
සමවතින් නැගී සිටි තෙරණිය එම මස් මුල ගෙන සවස් කලැ තම අසපුවට ගොස් පසු දින මස් මුල තථාගතයන් වහන්සේට පිලිගන්වමියි සිතා අන්තරවාසකයෙහි එය පොදියක් කොට බැඳ අහසට පැන නැඟී වේළුවනාරාමය ගියාය. එවිට තථාගතයන් වහන්සේ පිඬු පිණිස ගොස් සිටි සේක. තෙරණිය එම මස් මුල තථාගතයන් වහන්සේට පිළිගන්වනු මැනවැයි පවසා උදායි තෙරුනට දුන්නාය. උදායි තෙරණුවෝ අයගේ අන්තරවාසකය ඉල්ලා සිටියහ....” (විනය නීතිය පැනවීමට මුල්වී ඇත්තේ එසේ රෙදිකඩ ඉල්ලීමය.)”
විනය පිටකයට අනුව ඇවැත් සිදුවන පාචිත්තී අනු දෙක අතර භෝජන වර්ගයේ නවවන වගන්තිය මෙසේය.
“ගිතෙල්, වෙඬරු, තලතෙල්, මී, උක් හකුරු, දිය මස්, ගොඩ මස්, කිරි, දී යන මේවා මිහිරි බෝජුන්ය. යම් කිසි නොගිලන් භික්ෂුවක් මෙම මිහිරි බොජුන් තමා සඳහා ඉල්ලා ගෙන වළඳන්නේ නම් පචිතිවේ.”
එබඳු තවත් රසවත් කතාවක් විනය පිටකයේ මහාවර්ගයේ භේසජ්ජඛන්ධයේ දක්නට ලැබේ. එහි කෙටි සිංහල පරිවර්තනය මෙසේය:
“එකල්හි එක්තරා භික්ෂුවකට අමනුෂ්‍යයෙකු විසින් කරන ලද රෝගයක් විය. ආචාර්ය උපාධ්‍යායවරු ඒ භික්ෂුවට උපස්ථාන කරන්නේ රෝගය නැති කරන්නට නොහැකි විය. ඒ අමනුෂ්‍යාවේස වූ මහන තෙමේ ඌරු මස් ලොඹුවට ගොස් අමු මාංශ ද කෑයේය. අමු ලේ ද පානය කළේය. ඔහුගේ ඒ අමනුෂ්‍ය බාධය සංසිඳුනේය.”         




පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි විශේෂවේදී උපාධිදාරී කළුන්දෑවේ කමලසිරි හිමි විසින් ලියන ලද “නිර්මාංශ ආහාරය පිලිබඳ බෞද්ධ ස්ථාවරය” නමැති ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටස් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.
(පිටු අංක 50-  )
මාංශ ආහාර සදාචාරාත්මක ද යන්න පිළිබඳව නොයෙක් මතවාද මතුවෙමින් පවතී.සමහරු මාංශ අනුභවය සදාචාර විරෝධීය යන පදනම මත පිහිටා නොයෙක් සමිති සමාගම් මුල්කරගෙන නිර්මාංශී සමාජයක් ගොඩනැගීමෙහි ලා නිරතවෙති. සත්ත්ව ඝාතනයේ කුරිරු බව, ජීවත් වීමේ අයිතිය මෙන්ම මාංශ ආහාරයෙන් මනුෂ්‍යයාට සිදුවන අභ්‍යන්තර හා බාහිර පරිහාණිය ඔවුන්ගේ ප්‍රධාන මාතෘකා බවට පත්වී ඇත. එමෙන්ම නිර්මාංශ ආහාර ක්‍රමයේ ආරක්‍ෂිත භාවය සහ යෝග්‍යතාව පිළිබඳව විවිධ පොත් පත් ද පළකර ඇත. එසේ වුවත් මාංශ ආහාරය සම්බන්ධයෙන් සලකා බලන විට එය සාධාරණීකරණය වීමටද නොයෙක් හේතු සාධක ඉවහල් වන බව දක්නට ලැබෙයි. ඒ අතර:-
                  
පාරසරික බලපෑම්
                   ආගමික බලපෑම්
                   සංස්කෘතික බලපෑම්
                   වෛද්‍ය විද්‍යාත්මක බලපෑම්
යනාදිය ප්‍රධාන වශයෙන්ම මාංශ අනුභවයට ඉවහල් වන බව පැහැදිලිවෙයි. මිනිසාගේ ආගම, සංස්කෘතිය, භූගෝලීය පරිසරය යනාදිය තුලින් මිනිසා මාංශ ආහාර වලට හුරුකර ඇත. එය නිරායාසයෙන් සිදුවන්නකි.    

පාරිසරික බලපෑම්  
මාංශ ආහාරය සාධාරණීකරණය වීමට බලපෑ ප්‍රධාන ම සාධකයක් වශයෙන් පාරිසරික බලපෑම පෙන්වාදිය හැකිය. මිනිසා ඇතුළුව සමස්ත ජීවී වර්ගයා ම තම ආහාරය සකස් කර ගනු ලබන්නේ තමා ජීවත්වන වටපිටාව (පරිසරය) අනුවය. පරිසරයේ ඇති ආහාරය කෙරෙහි සත්ත්වයා නිරායාසයෙන්ම යොමු වෙයි. එය ආහාරය සම්බන්ධයෙන් සාමාන්‍ය නියමයයි. භූගෝලීය සාධක අනුව උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව ඇති රටවල දීර්ඝ කාලයක් හිම පතනය සිදුවන නිසා ශීත සෘතුව පවතී. එවැනි රටවල කෘෂිකර්මාන්තයට ඉඩක් නැත. ඉඩක් තිබුනේ වේ නම් එය ඉතා අල්ප වශයෙනි. එසේ ම කෘෂි නිෂ්පාදනයන් බොහෝ කාලයකට තැන්පත් කර තබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. මේ අනුව ජීවත්වන ප්‍රදේශය හා සලකා බලනවිට සතුන් මැරීම හා මාංශ අනුභවය නිහතමානීව ඉවසිය යුතු වන්නේය. ඒ අන්කිසිවක් නිසා නොව ඒ ඒ පරිසර පද්ධතීන්හි මාංශ හැර වෙනත් යමක් ආහාරය සඳහා නොමැති නිසාය. “තමා වෙසෙන පරිසරය හා ජීවත්වීම සඳහා එක්සිමොවරුන්ට හා ලාප්ලන්ත වරුන්ට දඩයම් කිරීම හැර වෙන විකල්පයක් නොමැත” (කප්ලිව්, ෆිලිප් “සියළු ප්‍රාණීන් රැක ගනිමු” 103-104 පිටු). එක්සිමෝවරු, ලාප්ලන්තවරු ජීවත් වන්නේ දැඩි හිම පතනයක් සහිත දේශගුණයකය. ඒ නිසාම ඔවුන්ට ශාඛ ආහාර සොයා ගැනීම අපහසුය. ඔවුන්ගේ ප්‍රධාන ම ජීවනෝපාය මාර්ගය වන්නේ මාළු ඇල්ලීමයි. ඊට අමතරව හිමයේ ජීවත්වන සතුන් දඩයම් කිරීමෙන් ද ඔවුන්ගේ ආහාරය සපයාගනී. දැඩි හිම සහිත ප්‍රදේශවල මෙන් ම කාන්තාරව ද ප්‍රධාන ආහාරය බවට පත්වන්නේ මාංශ ආහාරයයි. ඔටු මස් කාන්තාර වාසීන්ගේ ප්‍රධාන ආහාරය වන්නේය. මේ හේතු නිසා නිර්මාංශ ආහාරය සෑම තැන්හි ම සාධාරණ නොවන බව පැහැදිලි වෙයි. සෙසු සාධක සියල්ල බැහැර කල ද පාරිසරික සාධකය මාංශ ආහාරය සම්බන්ධයෙන් ඉතාමත් ම ඉහලින් බලපාන බව මේ අනුව පැහැදිලි ය. ඒ නිසා සියළු දෙනාම බුද්ධිමත්ව සිතා බලා සතුන් මැරීම හා මාංශ අනුභවය ඉවසිය යුතුව ඇත.

සංස්කෘතික බලපෑම්       
බොහෝ පිරිසකගේ එකතුවක් සමාජය ලෙස හඳුන්වයි. සමාජය නිර්මාණය වන්නේ එක් අයෙකුට වැඩි පිරිසක් එක්වීමෙනි. එම පිරිසෙහි අනන්‍ය වූ භාෂාව, අනන්‍ය වූ විශ්වාස පද්ධතිය, පදනම් කරගෙන ඔවුනොවුන්ගේ හැසිරීම් රටාවෙහි ස්වභාවය සංස්කෘතිය ලෙස හඳුන්වයි. සංස්කෘතියක් බොහෝ සෙයින් ආගමික සබැඳියාවකින් පෝෂණය වී ඇති වගක් දක්නට ලැබෙයි. සංස්කෘතිය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ ආගමික මුල පදයක් හා සම්බන්ධ කරගෙනය. ඒ බව ජන ව්‍යවහාරය තුළින් මනාව දක්නට ලැබෙයි.

බෞද්ධ සංස්කෘතිය
ක්‍රිස්තියානි සංස්කෘතිය
ඉස්ලාම් සංස්කෘතිය
හින්දු සංස්කෘතිය
ආදී වශයෙන් සමාජයේ සංස්කෘතිය ආගමික මුහුණුවරකින් හඳුන්වනු පෙනෙයි. එයට ප්‍රධාන ම හේතු සාධකය වන්නේ සංස්කෘතියක් හුදෙක් ම ආගම හා සම්බන්ධ වීමයි. යම විශ්වාස පද්ධතියකින් තොර සංස්කෘතියක් නැත.

බෞද්ධ සංස්කෘතිය
සංස්කෘතිය බොහෝ සෙයින් ම සකස් වී ඇත්තේ ආගමක් සම්බන්ධව බව අපි දකිමු. සිංහල සංස්කෘතිය ගත්තද එය බුදු සමය හා එක්වී ඇත. ඒ නිසා සිංහල සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය වශයෙන් හැඳින්වීමට තරම් බෞද්ධාගමික මුහුණුවරක් ගෙන ඇත. බෞද්ධ සංස්කෘතික සමාජයට අනුව සමාජය කොටස් හතරකි. භික්ෂු-භික්ෂුනී, උපාසක-උපාසිකා වශයෙනි. ඉන් පැවිදි පිරිස භික්ෂු-භික්ෂුනී ලෙස ද ගිහි පිරිස උපාසක-උපාසිකා ලෙස ද සකස් වී ඇත. මාංශ ආහාරය සම්බන්ධයෙන් සලකා බලනවිට උපාසක-උපාසිකාවන්ට සතුන් මැරීම තහනම් වුවත් මස් කෑම තහනම් කර නැත. ඒ නිසා තමන් විසින් නොමරණ ලද, තමන් අනිකෙකු ලවා නොමරවන ලද, සතුන් මරන්නට අනුබල නොදෙන ලද යන අවස්ථාවන්ගෙන් යුක්තව මසක් කෑම වරදක් නොවේ. වෙළඳ පොලෙන් රැගෙන එන මස් බොහෝ දෙනා භාවිතා කරති. සිංහල සංස්කෘතියට අනුව වැඩිවියට පත්වීම, විවාහය, ගෙට ගෙවැදීම, අලුත් අවුරුදු උත්සව ආදී නොයෙක් උත්සව දක්නට ලැබෙයි. මේ සෑම අවස්තාවකදී ම ආහාර වේලක් ලබා දෙනු ලබයි.

ආගමික පදනම
නිර්මාංශ ආහාරය පමණක් ම සාධාරණීකරණය කිරීමට ආගමික සාධකයන් ඉවහල් කරගත නොහැකිය. ලංකාවේ භාවිතවන බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා හින්දු යන ආගමික ඉගැන්වීම් අධ්‍යයනයෙන් ඒ බව පැහැදිලි වෙයි. මෙම කිසිදු ආගමක මාංශ ආහාරය තහනම් කර නැත. නිර්මාංශ ආහාරය ද තහනම් කර නැත. කැමති අයෙකුට මාංශ ආහාර ගැනීමේ හැකියාව ද කැමති අයෙකුට නිර්මාංශ ආහාර ගැනීමේ හැකියාවද ඇත. ඒ සඳහා ආගම්වලින් පුර්ණ නිදහසක් අනුගාමිකයන්ට ලබාදී ඇත. මාංශ ආහාර කිසිදු ආගමක තහනම් කර නොතිබුණ ද ආගම් සියල්ලෙහි ම කෑ යුතු නොකෑ යුතු මස් වර්ග සඳහන් කර ඇත. බුදුසමයෙහි සඳහන් ආකාරයට තුන් ආකාරයකින් පිරිසිදු වූ මාංශය හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධි මාංශය භික්ෂුන්ට අනුමත කර ඇත. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ:
“අනුජානාමී භික්ඛවේ ත්‍රිකෝටිපරිසුද්ධං මච්ඡමංසං: අදිට්ඨං අසුතං අපරිසඬ්කිතන්ති” (මහාවග්ගපාලි II 594 වැනි පිටුව). යම් මාංශයක් තමා උදෙසා මරණ ලද බවට නොදක්නා ලද්දේ වේ ද, යම් මාංශයක් තමා උදෙසා මරණ ලද බවට නොදක්නා ලද්දේ වේ ද, යම් මාංශයක් තමා උදෙසා මරණ ලද බවට සැක නොකරන ලද්දේ වේ ද මේ තුන් ආකාරයෙන් පිරිසිදුවූ මාංශය වැළඳීමට සුදුසු බවයි. මෙම පැනවීම ගිහි බෞද්ධ උපාසකයන් සඳහා පනවා ඇති බවක් දක්නට නැත. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් බුදුරදුන් අනුදැන වදාළේ භික්ෂුන් වහන්සේලා සඳහා පමණි. උපාසක උපාසිකාවන්ට ප්‍රාණඝාතයෙන් වැළකිය යුතු බව පමණක් ද්ශනා කළ බුදුරජාණන් වහන්සේ ඔවුනට මස් කෑම සම්බන්ධයෙන් නීති නොපැනවූ සේක. භික්ෂුන් වෙනුවෙන් නොකෑ යුතු මස් වර්ග දහයක්ද විනය පිටකයේ මහාවග්ගපාලියේ (556-560 පිටු) සඳහන් වෙයි. මෙම මස් වර්ග දහය භික්ෂුන්ට පිළිගැන්වූයේ ගිහි උපාසක උපාසිකාවන්ය. එම නොකෑ යුතු මස් වර්ග දහය මෙසේය.

1)  මිනී මස්
2)  ඇත් මස්
3)  අශ්ව මස්
4)  බලු මස්
5)  සර්ප මස්
6)  සිංහ මස්
7)  ව්‍යාග්‍ර මස්
8)  දිවි මස්
9)  වලස් මස්
10)               (තරස්)කරබානා වලස් මස්

මෙම මස් වර්ග දහය ද බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන්ට තහනම් කරන ලද්දේ සමාජයෙන් මතුවූ විරෝධතාවය නිසා හා වනසතුන්ගෙන් සිදු වූ හිරිහැර අනතුරු හේතු කර ගෙනය. මෙම මස් වර්ග ගිහියන්ට නොකෑ යුතු බවට බුදුරදුන් ශික්ෂාපද පනවා නැත. ඒනිසා බුදුරජාණන් වහන්සේ ගිහියන්ගේ ආහාරය සම්බන්ධයෙන් විශේෂ පැනවීම් පනවා නැති බවත්, උන්වහන්සේ අගය කළේ ධාර්මික දිවි පැවැත්ම හා නිර්වාණගාමී ප්‍රතිපදාව බවත් පැහැදිලිය. උන්වහන්සේ බාහිර සමාජයේ ආචාර සමාචාර දිවි පැවැත්ම ආහාරපානාදිය වෙනස් කිරීමට උත්සාහ නොගත් සේක. මේ නිසා න්ර්මාංශ ආහාරය ම සාධාරණීකරණය කිරීමට බුදුදහම එකඟ නොවන බව පෙනීයයි. 


බුදුන් වහන්සේ මස් වැළඳුවේ ද?
බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සුත්‍ර පිටකයේ හා විනය පිටකයේ නොයෙක් තැන්වල තොරතුරු සඳහන් වේ. එම අවස්තාවන් වශයෙන් අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය, මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය, සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රය, මහාවගාපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති කතා පුවත, පාරාජිකපාලි චීවරපටිග්ගහන ශික්ෂාපදය, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් චුන්දකර්මාර පුත්‍රයාගේ සුකරමද්දව දානය ආදිය පෙන්වාදිය හැකිය. මෙම අවස්ථා බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සාක්ෂි සපයයි.
මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රයේ සඳහන් කතා පුවත මෙසේය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවක වෛද්‍යවරයාගේ අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි ජීවක උපාසකතුමා (වෛද්‍යවරයා) බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේය. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උදෙසා සතුන් මරණ බවත්, ඔබ වහන්සේ එම මස් දැන දැන වළඳන බවටත් මා විසින් අසන ලදී. “සුතං මේතං භන්තේ සමනං ගොතමං ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති     
“ස්වාමීනි, ඒ ආකාරයට නොයෙක් දෙනා පවසන්නේ භාග්‍යවතුන් වහන්සේට අදාළ දෙයක්ද? නැතහොත් ඔවුන් ඔබ වහන්සේට කරුණු රහිතව අභුතයෙන් චෝදනාකරන්නෙහි ද? යනුවෙන් ජීවක උපාසකතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. එම ප්‍රශ්නයට බුදුරදුන් පිළිතුරු දුන්නේ මෙසේය. “ජීවකය, යමෙක් මෙසේ කියත් නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරති, ඒ කාරණය දැන දැන ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා පිළියෙළ කළ මස් වලන්දත් කියා කියත් නම් එම කරුණ පවසන ඔවුහු මා විසින් කියන ලද්දක් කියන අය නොවෙති. ඔවුහු ම හට අසත්‍යයෙන් අභුතයෙන් චෝදනා කරන අය වෙති” යනුවෙනි.
එසේ බුදුරදුන් ජීවක උපාසකතුමාට දේශනා කෙළේ තමන් වහන්සේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංශය අනුභව කරන බවයි. එසේ ම එය වැළඳීමට භික්ෂුන්ට අනුමැතිය ලබාදෙන බවයි. එම කාරණා තුන නම් ඉහතින් සඳහන් කළ තිකොටි පාරිශුද්ධ මාංශයයි. එනම්:
1.   අදිට්ඨං - තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු,
2.    අසුතං - තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු,
3.    අපරිසඬ්කිත - තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති
මාංශයයි.

“ජීවකය, මම මෙම තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය අනුභව කරමි. අනුභව කිරීමට අනුමැතිය ලබාදෙමි.” (මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය). එසේම සමාජයේ බුදුරජාණන් වහන්සේ උදෙසා සතුන් මරති, උන්වහන්සේ එම මස් දැන දැන වළඳත් යැයි බුදුරදුනට චෝදනාවක් ඇති වුයේ උන්වහන්සේ මස් වළඳන නිසා බවද මෙයින් පැහැදිලි වෙයි. මස් නොකන අයට සමාජයෙන් එවැනි චෝදනා එල්ල වන්නේ නැත.
මහාවග්ගපාළියේ භේසඡ්ඡඛන්ධකයේ ද බුදුරදුන් මස් වැළඳු බවට තොරතුරු සඳහන් වෙයි. සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වාසය කරන කාලයක ලීච්ඡවීහු සන්ථාගාර (රැස්වීම්) ශාලාවෙහි රැස්වී බුදුරදුන්ගේ ගුණ කියත්, භික්ෂු සංඝයාගේ ගුණ කියත්, එම අවස්ථාවේ රැස්වීම් ශාලාවේ සිටි නිගණ්ඨ ශ්‍රාවකයෙකු වූ සිංහ නම් සේනාපතියෙක් බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේ දැකීමට යාමට කැමතිවෙයි. ඒ බව නිගණ්ඨනාථ පුත්තයන් වෙත දැනුම දුන් විට ඔහු මෙසේ කීවේය. “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අකිරියවාදියෙකි. එයින් ම උන්වහන්සේ ශ්‍රාවකයන් හික්මවති. ඔබ කුමක් හෙයින් බුදුරදුන් හමුවීමට යන්නෙහිද?” නිගණ්ඨනාථ පුත්තයන් එසේ කීවිට සිංහ සේනාපතියන්ගේ බුදුරජාණන් වහන්සේ දැකීමේ අදහස නැතිවී ගියේය. එහෙත් දෙවන තුන්වන වර ද ලීච්ඡවීන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළ විට ඔහුට බුදුන් දැකීමේ අදහස යලිත් ඇතිවිය. එම අදහස නිගණ්ඨනාථ පුත්‍රයන්ට දැනුම් දුන් පසු ඔහු දෙවන තෙවන වර ද සිංහ සේනාපතියන් වළක්වනු ලැබීය. පසුව සිංහ සේනාපතියන් නිගණ්ඨනාථ පුත්‍රයන්ට නොදන්වා රථ පන්සියයක් සහිතව දහවල් කාලයේ බුදුරජාණන් වහන්සේ දැකීමට ගියේය. බුදුරදුන් හමුවූ සීහ සේනාපතියන් උපාසකයෙකු බවට පත්වීය.
ඔහු නිවසට ගොස් සේවකයෙකු අමතා වෙළඳ පොලට ගොස් මස් ගෙනෙන්නට නියම කළේය.
“ගච්ඡ භණේ පවත්ත මංසං ජානාහී තී” (මහාවග්ගපාලි - 592 පිටුව)
පසුදා සීහ සේනාපතියා බුදුරදුන් ප්‍රමුඛ මහා භික්ෂු සංඝයා වහන්සේට මස් සහිත ප්‍රණීත භෝජනයෙන් සංග්‍රහ කෙළේය. සීහ සේනාපතියා උපාසකයෙකු බවට පත්වූ පුවත හා ඔහු බුදුරදුන්ට මස් සහිත දානයක් දුන් පුවත දැනගත් නිගණ්ඨයෝ විසාලා මහනුවර වීදිවල ‘අද සීහ සේනාපතියා තරබාරු සිවුපාවෙකු මරා ශ්‍රමණ ගෞතමයන්ට බත් කරන ලද්දේය. ශ්‍රමණ ගෞතමයන් තමන් උදෙසා කළ මාංශය වැළඳු වේ යැයි  “අජ්ජ සීහේන සේනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගෝතමස්ස භත්තං කතං. සමණෝ ගෝතමෝ ජානං උද්දිස්සකටං මංසං පරිභූඤ්ජතී’ති පටිචචකම්මන්ති” යි ඝෝෂා කළහ.
මෙම කතා පුවතින්ද බුදුරජානන් වහන්සේ මස් වැළඳු බව තහවුරු වෙයි. සීහ සේනාපතියා ‘පවත්ත මාංශය’ ගෙනෙන්නට කීමෙන් නිගණ්ඨයන් ද ‘පවත්ත මාංශය’ අනුභව කරන්නට ඇති බව සිතිය හැකිය. ඔවුන් බුදුරදුන්ට චෝදනා කෙළේ උදෙසා කළ (උද්දිස්සකටං) මසක් වළඳන බවටයි. එනිසා පවත්ත මාංශය හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ජෛනයන් හා වෙනත් ශ්‍රමනයන් ද වළඳන්නට ඇත. එනිසා බුදුරදුන් ද ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බවට මේ කතා පුවතින් ඉදිරිපත් කර ඇත.

මීට අමතරව පාරාජිකාපාලි විවරපටිග්ගහන ශික්ෂා පදයේ ද බුදුරදුන් මස් වැළඳු බවට කතා පුවතක් සඳහන් වෙයි. එහි සඳහන් පරිදි උප්පලවන්නාමෙහෙණිය පෙරවරු කාලයේ පිණ්ඩපාතයෙන් පසුව අන්ද වනයට වැඩමකරවා ගසක් මුල දිවාවිහරණය පිණිස වැඩ සිටියාය. ඒ වේලාවෙහි සොරු ගව දෙනක් මරා අන්ද වනයට පිවිසුණහ. සොර නායකයා ගසක් මුල වැඩ සිටින උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ දැක මාගේ දරුමල්හු මේ මෙහෙන දක්නාහු නම් වෙහෙසෙන්නාහයි (කරදර කරන්නේ යැයි) වෙන මගකින් ගියේය. අනතුරුව ඒ සොර නායකයා මස් පැසුණු විට හොඳ මස් ටිකක් ගෙන කොළ ආදියෙන් ඔතා බැඳ උප්පලවන්නා මෙහෙණීන් වහන්සේට ළඟ තැනක “යම් මහණ බමුණෙක් මෙය දකිත් නම් එය ගනිත්වා” යැයි කියා ගසක එල්ලුවේය. උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ සමාධියෙන් නැගී සිට සොර නායකයාගේ වචනය අසා ඒ මස් ගෙන මෙහෙණවරට ගියාය. පසුදා එම මස් පිළියෙළ කර උතුරු සිවුරෙහි ඔතාගෙන බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමට ජේතවනාරාමයට ගියාය. මෙම කතා පුවතින් ද බුදුරදුන් මස් වැළඳු බව තහවුරු වෙයි. මෙහි සඳහන් වැදගත්ම කාරණය නම් “ගාවිං වධිත්වා” යන්නයි. මෙයින් බුදුරජානන් වහන්සේ ද ගව මාංශ වැළඳු බව කියවෙයි.    

අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ බුදුරජානන් වහන්සේ ඌරු මස් වැළඳු කතා පුවතක් සඳහන් වෙයි. බුදුරජානන් වහන්සේ විශාලා මහනුවර කුටාගාර ශාලාවෙහි වැඩවසන සමයක සෝවාන් ඵලයට පැමිණි උග්ග නම් උපාසකයෙක් බුදුරජානන් වහන්සේ උදෙසා අපුරු ආකාරයක දානයක් පිළියෙළ කෙළේය. උග්ග ගෘහපතියා බුදුරජානන් වහන්සේට එම දානය පිළිගැන්වූයේ උන්වහන්සේ විසින් දේශනා කරණ ලද බණ පදයක්ද සිහිගන්වමිනි. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිදී මෙසේ අසන ලදී. එනම් මනාප දේ දන් දෙන තැනැත්තා කැමති දෙයක් ම ලබන්නේය” යන බණ පදයයි. භාග්‍යවතුන් වහන්ස මා ඩෙබරඵල මුසු කළ ඌරු මස්වලට ඉතා මනාපය. එනිසා භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පා උපදවාගෙන මාගේ ඩෙබරඵල මුසු මේ ඌරු මස පිළිගන්වා සේක්වා. උග්ග ගෘහපතියා මෙසේ ප්‍රකාශ කර බුදුරජානන් වහන්සේ වෙත ඌරු මස් පිළිගැන්වූ විට උන්වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳු සේක. මේ ප්‍රවෘතියෙන් ද බුදුරජානන් වහන්සේ මාංශ වැළඳු බව සනාථ වෙයි.
සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රයේ පෙර බුදුවරු පවා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව සඳහන් වෙයි. එය මාංශ ආහාරය සම්බන්ධයෙන් බුදුවරු එකම ආකල්පයක් දරන බවට සාධකයෙකි. එහි සඳහන් ආකාරයට එම කතා පුවත කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ කාලයට සම්බන්ධ වෙයි. බ්‍රාහ්මණ වංශික තිස්ස නම් තාපසයෙක් පිරිවර තාපසයන් සහිතව මාංශ ආහාරවලටත්, මාංශ ආහාර අනුභව කරන අයටත් අපහාස කරමින්, බැනවදිමින් සිටියේය. තිස්ස තාපසයා ප්‍රකාශ කෙළේ, මිනේරි, අමු ඇට, තල කොළ, දළු, අල, මුල් පලතුරු ආදී දැහැමින් ලබන දේ වළඳන දැහැමින් සැනසෙන අය කාමය නොපතන, බොරු නොකියන අය බවයි.
දිනක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සහිත ඇල් හාලේ බතක් දානය වශයෙන් ලැබ එය වළඳනු දුටු තිස්ස තාපසයා කාශ්‍යප බුදුරජානන් වහන්සේගෙන් මෙසේ විචාළේය. “ඔබ වහන්සේ කලින් පැවසුවේ, පිළී ගඳ තමාට කැප නැති බවය. එහෙත් දැන් ඔබ වහන්සේ මනාව පිසින ලද ලිහිණි මස් සමග ඇල් හාලේ බත් වළඳති”. කාශ්‍යප සමිඳුනි, ඔබ වහන්සේ පිළී ගඳ වශයෙන් සඳහන් කලේ කුමක්ද? තාපසයා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කාශ්‍යප බුදුන් වහන්සේ ප්‍රාණඝාතය, වධදීම, අත්පය සිඳීම, සතුන් සිරකොට තැබීම, සොරකම, බොරුකීම, වංචා කිරීම, ක්‍රෝධයෙන් කල්ගෙවීම, අනුන්ගේ භාර්යාවන් ඇසුරු කිරීම, මෙලොව පරලොව නොපිළිගැනීම, පින් පව් නොපිලිපැදීම ආදී අයහපත් දේ සිදු කිරීම ආමගන්ධය වන බවත්, මාංශ ආහාරය ආමගන්ධය නොවන බවත් (ඒසාමගන්ධෝ නහි මාංශ භෝජනං) දේශනා කළහ. මෙම සුත්‍ර දේශනාවෙන් පෙර බුදුවරු පවා මාංශ භෝජනය වැළඳු බව කියවෙයි. 

ඔන්න ඉතින් අපේ රටේ ආපහු ජාති වාදියෝ එක එක සෙල්ලන් දානවා කියල සරත් මහත්තය කීවා ඒක නිසා ඒ උත්තමය මේ ලිපිය සරා ගොයියට බාර දුන්නා ඔන්න ඉතින් කියවල බලමුකෝ එහෙනං

තිස් වසරක් පුරා ලාංකීය දේශය පීඩාවට පත්කළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු අප හමුවේ නිර්මාණය වන්නේ අලුත් මොහොතක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. මෙම අලුත් මොහොතේ ලාංකීය දේශය, ලාංකීය ජාතිය ගොඩ නැඟීම යහ අයුරින් කළමනාකරණය කර ගැනීමේ දැවැන්ත අභියෝගය අප හමුවේ නිර්මාණයවී තිබේ. මෙම අභියෝගය ජය ගැනීමෙන් තොරව රටක් ලෙස, ජාතියක් ලෙස අපට ඉදිරි ගමනක් නැත. එය එසේ තිබියදී අද අප නියැලෙමින් සිටින්නේ තවත් භයානක ව්‍යසනයකට රට ඇද ගෙන යන විනාශකාරී ව්‍යාපෘතියක නොවේද? විවිධ වෙබ් අඩවි මගින් සිංහල හා මුස්ලිම් ජනයා අතරේ අති භයානක වෛරයක් ගොඩනැගීම සඳහා බුදු දහම හා තවත් අසත්‍ය තොරතුරු යොදා ගනිමින් මුස්ලිම් වරුන්ගේ දහමට ඉතා නින්දිත අයුරින් අපහාස කරමින් මෙම පහත් හා නින්දිත චින්තනයක වහලුන් බවට පත්වී ඇති උදවිය කරන්නේ නැවත මේ රට ඉතා භයානක අඝාධයකට තල්ලුකර දමන්නට නොවේද? මොවුන්ගේ සැඟවුණු න්‍යාය පත්තරය හා එයට ඈඳුනු නින්දිත අරමුණු රටට හෙළි දරව් කරන්නට කාලය එළැඹ ඇතැයි අපි සිතන්නෙමු.

නිදහස දිනා ගැනීමත් සමග ජාතිවාදී පදනමකින් ගොඩ නැගුනු පටු අරමුණු අපේක්ෂාවෙන් රට ඉදිරියේ තැබූ දේශපාලන ක්‍රියාවලියක අවසන් ප්‍රතිපලය වුයේ බිහිසුණු යුධ ක්‍රියාවලියකට රට අවතීර්ණ වීමය. යුද්ධය රටට අහිමි කල විශාලතම සම්පත වුයේ ජීවිතයයි”. ලක් මවට තමන්ගේ දරුවන් අහිමි කල යුද්ධය දැවැන්ත දේපළ විනාශයකටද මග හෙළි කළාය. තමන් උපන් භූමිය තුලම සරණාගතයන් කරනු ලැබූ අති විශාල සිවිල් ජනකායක් අදත් විවිධ දුක් ගැහැට වලට මුහුණ පාමින් අන්ත අසරණ තත්වයකට පත්වී සිටිති. අංග විකලභාවයට පත් අත්පා අහිමිවූ ජන සංඛ්‍යාව අති විශාලය. වැන්දඹු බවට පත්වූ ස්ත්‍රීන්, ජීවනෝපාය බිඳවැටුණු මිනිසුන්, අධ්‍යාපනය අහිමිවූ දරුවන්, පිළිසරණක් නැති වැඩි හිටියන්, අතවරට පත්වූ ගැහැනුන් මේ යුද්ධයේ අනිවාර්ය ප්‍රතිපලයන්ය. මේ සියල්ලටත් වඩා බරපතල වන්නේ ගිලන් බවට පත් සමාජ මනසසුවපත් කල හැක්කේ කෙසේද යන කාරණයයි. ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ තත්වය බැරෑරුම් ලෙස තේරුම් ගෙන ඇතිද යන්න බහුතරයකගේ සැකයට බඳුන්වූ කාරණයක් බවට පත්ව ඇත. දශක තුනක වෛරය, අවිශ්වාසය හා එකිනෙකා කෙරෙහි වන බිය හද තුළ ගැඹුරට කා වැදී ඇත්තේය. ජන විඥාණයේ හා හදවත්වල විනිවිද ගිය මෙම තුවාල සුවපත් කරන්නේ කෙසේද යන්න සැමට අභියෝගයක්ව පවතී. මෙලෙස රෝගාතුරවී ඇති ජන විඥාණය සුවපත් කොට වෛරයෙන්, බියෙන්, සැකෙන්, අවිශ්වාසයෙන් තොරවූ සමාජයක් නිර්මාණය කිරීම පිණිස ලක් මවගේ සියළු දරුවන් එකට අත්වැල් බැඳගෙන කටයුතු කළයුතු කාලය දැන් එළඹ තිබෙනවා නොවේද? මේ වෙනුවට නැවත වරක් වෛරයේ ගිනිසිළු මොලවන්නට යමෙක් ඉදිරිපත් වන්නේද සැබැවින්ම ඔහු අබෞද්ධයෙක් හා ලක් මවට ද්‍රෝහිකම් කරන්නෙක් මිස අන් කවරෙකු නම් විය හැකිද? මොවුන්ගේ වෛරය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියට අවාසනාවට මෙන් බුදු දහම හා බුදුන් වහන්සේව උපයෝගී කරගැනීම මෙරට සියළු බෞද්ධයින්ගේ කෝපයට හේතුවන කරුණක්ව ඇත. සැබැවින්ම මොවුන් බෞද්ධයින්ද නැතිනම් බෞද්ධ කම ආලේප කරගත් බෞද්ධ විරෝදීන්ද යන්නද සැකසහිතය. මොවුන්ගේ ක්‍රියාකාරකම් නිසා දහමට හා බුදුන් වහන්සේට මොවුන් විසින් අති විශාල අපහාසයක් ඇති කර දී තිබේ. පහතින් ධම්ම පදයෙන් උපුටා දක්වා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කරවන ලෙස බුදුදහමේ නාමයෙන් වෛර වපුරන්නට උත්සාහ කරණ ඊනියා වීරයන්ට ආරාධනා කරන්නට කැමැත්තෙමු

අක්කොච්ජි මං, අවධි මං,

අජිනි මං, අහාසි මෙ

යෙ තං උපනය්හන්ති

වෙරං තේසං න සම්මති

අර්ථය:- මට අපහාස කළේය, මට හිංසා කළේය, මා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේයයැයි යම් කෙනෙක් වෛර බඳිත්ද ඔහුගේ වෛරය නොසංසිදේ.

අක්කොච්ජි මං, අවධි මං,

අජිනි මං, අහාසි මෙ

යෙ තං උපනය්හන්ති

වේරං තෙපු පසම්මති

අර්ථය:- මට අපහාස කළේය, මට හිංසා කළේය, මා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේයයැයි යම් කෙනෙක් වෛර නොබඳිත්ද ඔහුගේ වෛරය සංසිදේ.

න හි වෙරෙන වේරානි

සම්මන්තීධ කුදාචනං

අවෙරෙන ව සම්මන්ති

එස ධම්මො සනන්තනො

අර්ථය: – “මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසන්සිඳෙත්. වෛර නොකිරීමෙන් වෛරයෝ සන්සිඳෙත්. මෙය පෙර සිට පැවතෙන ධර්මයෙකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි.

මෙලෙස බෞද්ධ ඉගැන්වීම් අලංකාර ලෙස වෛරය ඉවත්කොට අවෛරයෙන් යුත් සුහදවූ සමාජයකට මග පෙන්වද්දී බුදුන් වහන්සේට හා උන් වහන්සේ විසින් පන් සාලිස් වසරක් තිස්සේ මිනිසා ඉදිරියේ තැබූ කරුණා, මෛත්‍රි, මුදිතා හා උපෙඛ්කා මත පදනම්වූ දහමට අපහාසයක් වන අයුරින් මෙම වෙබ් වීරයන් කටයුතු කිරීම ගැන සැබෑ බෞද්ධයන්ට නිහඬ නිරීක්ෂකයන් බවට පත් විය හැකිද? දශක තුනක කෘර යුද්ධයකින් පීඩා විඳි මෙරට ජනයාව නැවත මෙලෙස වෛරය වපුරා තල්ලුකරන්නට උත්සාහ කරන්නේ කුමන තත්වයකටද? මෙම වෙබ් වීරයින්ගේ හා ඔවුන් පිටිපස ඉන්නාවූ කපටින්ගේ පටු බලාපොරොත්තු ඉටුකර ගැනීමේ අවශ්‍යතාවය උදෙසා නැවතත් මෙරට ලේ ගංගාවක් බවට හා ජීවිත දස දහස් ගණනකගේ විනාශයට හේතුවන ක්‍රියාවකට අපට ඉඩ දිය හැකිද?

පශ්චාත් යුද කාල වකවානුවේ ඉන්නාවූ අප ඉදිරියේ ඇති අභියෝග මොනවාද?

යුද්දයෙන් අවතැන් වුවන් නැවත පදිංචි කිරීමේ ගැටළු
ඔවුන් මුහුණ පාන නිවාස, ජීවනෝපාය, සෞඛ්‍ය, අධ්‍යාපන ගැටළු
මුළු රටටම බලපාන අයුරින් ඇති ආර්ථික හා මුල්‍යමය ගැටළු
සාමකාමී ශ්‍රී ලංකාවකට දැරිය නොහැකි තරම්වූ විශාල හමුදාව සිවිල් සමාජයට අන්තර්ග්‍රහණය කොට සංවර්ධනයට අදාළ ක්ෂේත්‍රයන්හි රැකියා ලබාදී හමුදාවේම කොටසක් ලෙස තබා ගැනීමේ ගැටළු
යුද පෙරමුණේ මව්බිම වෙනුවෙන් ජීවිත පුජාකළ හා අංග විකලත්වයට පත් වීරෝධාර රණවිරු පවුල් වලට ජාතියේ නය ගැති භාවය වෙනුවෙන් කලයුතුවූ වගකීම් පිළිබඳවූ ගැටළු
ත්‍රස්තවාදී පිරිස් පුනරුත්ථාපනය කොට සිවිල් සමාජයට අන්තර්ග්‍රහණය කිරීමේ ගැටළු
සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනවාර්ගික කොටස් අතර බිඳ වැටුණු විශ්වාසය නැවත ගොඩ නැගීමේ ගැටළු
ජාත්‍යන්තරයෙන් නිමක් නොමැතිව තවමත් මතුවෙමින් තිබෙන්නාවූ අවලාද පිලිබඳව දේශපාලන භේදයකින් තොරව අති ගරු ජනාධිපතිතුමන්ගේ දෑත් ශක්තිමත් කිරීමේ ජාතික සම්මුතියක් ගොඩ නැගීමේ ගැටළු
ඉහත සියළු අභියෝග විසදීම සඳහා මැදිහත් වන විදේශ බලවේගවල සැඟවුණු අපේක්ෂා හඳුනා ගැනීමේ ගැටළු
ඒ මැදිහත්වීම් දේශීය අවශ්‍යතා අනුව අනුහුරු කර ගැනීමේ ගැටළු
මෙවන් අභියෝග ඉදිරියේ මුළු රටම තම චිත්ත ධෛර්ය හා අධිෂ්ටානය ශක්තිමත් කර ගැනීමේ ක්‍රියාවලියක යෙදෙමින් විසදුම් සොයන්නට නියැලෙන අවස්ථාවක නැවත වෛරය හා විසම්මුතියක් ගොඩ නගන්නට බුදුන්වහන්සේව හා ශාන්තියක්වූ දහම කඩතුරාවක් කරගනිමින් කරන්නාවූ ද්‍රෝහී ක්‍රියාවන් පිලිබඳව කිසිම භේදයකින් තොරව සියළු ලාංකිකයින්ගේ ගෞරවයට පාත්‍රවී ඇති මහා නාහිමිපාණන් වරුන් විසින් ජන විඥාණය සුවපත් කොට වෛරයෙන් බියෙන් සැකෙන් අවිශ්වාසයෙන් තොරවූ සමාජයක් නිර්මාණය කිරීම පිණිස ලක් මවගේ සියළු දරුවන් ඇමතීමේ කාලය දැන් එළඹ තිබෙනවා නොවේද?

ජන සම්මුතිය ගොඩ නැගීම සදහා භාග්‍යවතුන් වහන්සේගේ මැදිහත්වීම් කිහිපයක් පහතින් ගෙනහැර දක්වන්නට කැමැත්තෙමු. රෝහිනී නදියේ ජලය පිලිබඳව ශාක්‍ය හා කෝලීය වංශිකයින් අතරේ ඇතිවෙන්නට ගිය මහා යුධ තත්වය දැනගත් උන්වහන්සේ නිහඬව සිටියේ නැත. වහාම දෙපාර්ශවයම කැඳවා අත්තදන්ඩ සුත්තය දේශනා කොට ඔවුන්ගේ ක්‍රෝධය හා වෛරය ඉවත්කොට සම්මුතියක් ඇති කරන්නට මැදිහත්වුහ. භාග්‍යවතුන් වහන්සේ එන්දන ජාතක, දද්දහ ජාතක, ලටුකික ජාතක,හා වට්ටක ජාතක යන මෙයින් දම් දෙසා ශාක්‍ය හා කෝලීය රජුන් සමගි කරවූ සේක. මෙයයි අලංකාර බෞද්ධ පුර්වාදර්ශය. අද රටට අවශ්‍යවී ඇත්තේ මෙම දහම් සුවයයි.

බුදුන් වහන්සේගේ පින්බර පා පහස ලක්මවට තෙවරක් ලැබුණු බව ඉතිහාසය අපට පවසයි. මෙයින් දෙවරක්ම විසම්මුතිය, ක්‍රෝධය, වෛරය ඉවත්කොට සාමය හා සම්මුතිය ස්ථාපිත කිරීම සඳහාම විය. දැනට මහියංගන චෛත්‍ය පිහිටි තැනට දුරුතු මස පසළොස්වක පොහෝ දින වැඩම කොට මහවැලි ගඟ අසබඩ මහානාග වනයෙහි කඳවුරු බැඳ දෙපක්ෂයක්ව සංග්‍රාමයට සුදානම්වූ යක්ෂ ගෝත්‍රිකයින්ව පලවා හැර, ඇති වෙන්නට ගිය මහා විනාශයක් උන් වහන්සේ වලක්වා ලු සේක.

බක් මස පසළොස්වක්දා දෙවෙනි වරට ලක් බිමට බුදුන් වහන්සේ වැඩියේ චුලෝදර මහෝදර නම් නා රජුන් අතර මිණි පළඟක් නිසා ඇති වෙන්නට ගිය මහා යුද්දයක් කාකෝලුක ජාතක, එන්දන ජාතක, ලටුකිම ජාතක, හා වට්ටක ජාතක යන මෙයින් වෛර බැඳීමේ දෝෂ හා සමගියේ අනුහස්ද පැහැදිලිකොට සාමය හා සම්මුතිය ඇතිකරවීම පිණිසය.

මෙම ශ්‍රේෂ්ට හා අලංකාර පුර්වාදර්ශයන්ගෙන් අප ඉගෙන ගන්නේ කුමක්ද? බෞද්ධයින් ලෙසින් අපට මෙම ඉගැන්වීම් වලට පටහැනිව හා අපහාසයක් වන ලෙසින් කටයුතු කල හැකිද? අනුරාධපුරයේ මුස්ලිම් ආගමික ස්ථානයක් නීතියෙන් පිටස්තරව බලෙන් අත්පත්කරගනීමේ සිද්ධියක් සිදුවිය. අවාසනාවට මෙයට නායකත්වය දී තිබුනේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසිනි. බෞද්ධ උරුමයන් පාවා නොදෙන ලෙස අපි තරයේම පවසන්නෙමු. නමුත් එම උරුමයන් රැක ගැනීම සඳහා ක්‍රියා කලයුතු ආකාරය මෙයද කියා අප සැවොම විසින් ඇසිය යුතුව ඇත. එය බෞද්ධ උරුමයක් නම් ඒ පිළිබඳව ක්‍රියා කලයුත්තේ නීතියේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමෙන් පමණි. නීතියේ ඉදිරියට යාමට ප්‍රමාණවත් සාධක හා සාක්ෂි නොමැතිනම් සැමගේ පිළිගැනීමට පාත්‍රවී ඇති මහ නාහිමිවරුන්, බෞද්ධ කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ ලේකම් තුමා, විශ්ව විද්‍යාලවල පාලි හා බෞද්ධ අංශයන්හි පීඨාධිපති හිමිවරුන් ආදීන්ගෙන් හා තවත් සුදුසු අයගෙන් සැදුම්ලත් කමිටුවක් මැදිහත්වී මුස්ලිම් ආගමික හා සමාජ නායකයින් සමග සාකච්චා කොට මෙවන් ගැටළු වලට නියත වශයෙන්ම සම්මුති වාදී විසඳුම් කරා අපට ලඟාවිය හැකි වනු ඇත. අනුරපුර සිද්ධියේදී බෞද්ධ භික්ෂුන් ක්‍රියා කල ආකාරය හා ත්‍රස්තවාදී ක්‍රියා මාර්ගයක් අතර ඇති වෙනස කුමක්ද? බෞද්ධ චීවරය ප්‍රදර්ශනය කරමින් කල මෙම ක්‍රියාවෙන් අප ලෝකයට දෙන්නේ කුමන ආකාරයේ පණිවිඩයක්ද? බුදු දහම තවත් ත්‍රස්තවාදී දහමක් කියා නොවේද අප හඬ නගා කියන්නේ? අප බහුතරය නිසා ඕනෑම දෙයක් අපට කලහැකිය, බලය හා නීතිය අපගේ පමණක් උරුමයක් ලෙස සලකා ක්‍රියා කිරීමට අපට කිසිම බාධාවක් නොමැත, බලධාරීන් හට අපගේ ක්‍රියාවන්ට ඇඟිලි ගැසීමේ කිසිම අයිතියක් නොමැත යන අරාජික පණිවිඩය දෙමින් කල මෙම ක්‍රියාව කිනම් බෞද්ධයාටද අනුමත කල හැකි වන්නේ? නීතිය තමන් අතට ගැනීමට ඉඩහැර බලධාරීන් නිහඬ වුවහොත් සිදු වන්නේ රට අරාජික තත්වයට පත්වී අවනීතිය ක්‍රියාත්මක වීමේ හා රජවීමේ තත්වයක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍යතාවයක් නොමැත. මේ පිළිබඳව මෙම ක්‍රියා කාරකයින් විසින් නිකුත් කරන ලදැයි කියන පත්‍රිකාවක කොටසක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

බෞද්ධ උරුමය මත අටවා ඇති පල්ලි කෝවිල් වහාම ඉවත් කරව්.


අනුරාධපුර රාජධානියෙන් මේ සිංහල බෞද්ධ රට සිංහල දේශය යලි පුබුදුවමු.

අනුරාධපුරයෙන් පටන් ගනිමු.

රජයේ වගකිවයුතු නිලධාරීන්ට මේවා කරන්නට බැරිනම් අපි කරලා පෙන්නන්නම්. ගෑනුන්ට මුදලට යාන වාහන වලට ගැති වෙලා හිටපල්ලා. රජයෙන් පඩි කකා පැත්තකට වෙලා හිටපල්ලා දොඩවන්න එපා.

අනුරාධපුර මහමෙව්නා උයනේ ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ ඉදිරිපිට (දකුණු දා ගැබ ළඟ) හඳපළු අඩසඳ ගසා මුස්ලිම් පල්ලිකුඩාරමක් අටවා තිබුණි. එය සිංහල බෞද්ධ ගිහි පැවිදි දේශප්‍රේමීන් එකතුවී කඩා ඉවත් කළා. අනුරාධපුරයේ ප්‍රතිපත්ති ගරුක අපේ ගෞරවනීය ආදරණීය මහා සංඝරත්නයට හා අපේ ආදරණීය දේශප්‍රේමී වැඩිහිටි හා තරුණ තරුණියන්ට සිංහල ජාතියේ උත්තමාචාරය පුද කරමු

ඉහතින් ඇත්තේ දිග ප්‍රකාශනයක කොටසකි. වේලුපිල්ලේ ප්‍රබාකරන්ගේ හා ඉහත ක්‍රියාකාරකමේ ඇති වෙනස කුමක්ද? ප්‍රබාකරන් ඊලමක් සඳහා අවනීතිය හා අරාජිකත්වය උපයෝගි කරගත් අතර අපගේ ඊනියා දේශප්‍රේමීන් සිංහල බෞද්ධ උරුමයන් සඳහා එයම කරති. සිංහල බෞද්ධ උරුමයන් සඳහා ක්‍රියාකල යුතුව ඇත්තේ ත්‍රස්තවාදීව නොවන බව මෙම බෞද්ධයන් ලෙසින් වෙස්වලාගත් හෝ එසේ නොමැතිනම් අලංකාර බුදු දහම නොදැන කටයුතු කරන අඳ බාලයින් දැන ගත යුතුව ඇත. ජාතිකව හා ජාත්‍යන්තරව සිංහලයාව හා බුදු දහම අපකීර්තියට පත්කරවන මෙවන් නරුම වැඩ කරන උදවිය පිළිබඳව කොතෙක් කල් නම් මේ රටේ යහ චින්තනයෙන් යුත් යුක්ති ගරුක හා නීති ගරුක බෞද්ධයාට නිහඬව සිටිය හැකි වන්නේද? ඔවුන්ගේ සිංහල බෞද්ධකම ආලේප කරගත් ත්‍රස්තවාදයට ලක් කරන්නට කුරගල, දෙවනගල හා මුහුදු විහාරය වැනි තැන් නම් කර ඇති බව ඔවුන්ගේ වෙබ් අඩවි තුලින් දැකිය හැක. කුරගල, දෙවනගල හා මුහුදු විහාරය වැනි තැන් නියත වශයෙන්ම බෞද්ධ උරුමයන් ලෙස සහතික නම් කරුණාකර එම උරුමයන් පාවාදී නිහඬ නොවන්න. නමුත් ඒ පිළිබඳව ක්‍රියා කල යුත්තේ බෞද්ධ ඉගැන්වීම් ආරක්ෂාවන අයුරින් හා රටේ නීතියට එකඟ වන පරිදි පමණි. ත්‍රස්තවාදී ලෙස බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට මෙරටේ යුක්ති ගරුක හා නීති ගරුක ප්‍රජාවගෙන් කොහෙත්ම අනුමැතියක් නොලැබෙනු ඇත. රටේ මෑතකදී සිදුවූ දෑ කෙරෙහි අවධානය යොමු කරන විට පැහැදිලිව පෙනීයන්නේ නීතියේ ආධිපත්‍යය ක්‍රමයෙන් බිඳී ගොස් අරාජිකත්වය ක්‍රමයෙන් රජයන තත්වයකි. මෙය ඉතා භයානක අනිසි විපාක ගෙන දිය හැකි තත්වයක් නිර්මාණය කරන්නට ඉඩ ඇත. මේ පිළිබඳව බලධාරීන් වහාම පියවර නොගතහොත් තත්වය වඩාත් නරක අතට හැරෙන්නට ඇති හැකියාව ඉමහත්ය.

සුත්ත පිටකයේ දීඝ නිකායේ පළමු සුත්තයවූ බ්‍රහ්මජාල සුත්තයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

බුදුරජහු: මහණෙනි, පිටස්තර අය මට හෝ ධර්මයට හෝ භික්ෂු සංඝයාට හෝ දොස් කියතොත් නුගුණ කතා කරතොත් තොප ඒ ගැන කෝප විය යුතු නැත. අසතුටු නොවිය යුතුය. සිත අමනාප නොකර ගත යුතුය. අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියන විට නුගුණ කතා කරන විට තොප කෝප වෙතොත් අසතුටු වෙතොත් අමනාප වෙතොත් එයින් අනතුරක්, අලාභයක්, හානියක් වන්නේ තොපටමය. එසේ දොස් කියන විට තොප අමනාපකම් දක්වතොත් ඔවුන් ඒ කියන දෙය ඇත්තද නැත්තද කියා තොපට තේරුම් ගත හැකිද? වටහා ගත හැකිද?


භික්ෂුහු: වටහා ගත නොහැක ස්වාමීනි. කෝපවූ අමනාපවූ නොසතුටු සිතකින් යමක ඇත්ත නැත්ත තේරුම් ගත නොහැකිය.

බුදුරජහු: මහණෙනි, අනුන් මට හෝ දහමට හෝ සඟනට හෝ දොස් කියතොත් එහිදී තොප කෝප නොවී අමනාප නොවී, මේ කාරනා නිසා ඔබ කියන දෙය අසත්‍යයකි, නැති දොස් කීමකි. ඔබ කියන දෝසය අප තුල නැතැයි කරුණු කිව යුතුය. එසේම මහණෙනි, අන් අය මගේ හෝ දහමෙහි හෝ සඟනගේ හෝ ගුණ කියත්නම් එහිදී තොප ඒවායින් උදම් විය යුතුද නොවේ. උඩඟු විය යුතුද නොවේ

ඉහත බුද්ධ භාෂිත දේශනය අපට උගන්වන්නේ කුමක්ද? අප මෙම ඉගැන්වීම් අද අනුගමනය කරමින් සිටින්නේද? අපගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් තුලින් සැබෑ බුදු දහම විචිත්‍ර වන්නේද? කරුණා කර සිතා බලන්න.

චතුරාර්ය සත්‍යයනම් තම ග්‍රන්ථයේ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි පවසා සිටින්නේ බුද්ධ ධර්මයේ පරම සාරයත් චතුරාර්ය සත්‍යයමය. එබැවින් නියම බෞද්ධයෙකු වන්නට නම් ආර්ය සත්‍යයන් පිළිබඳව තරමක වත් දැනුමක් ඇති කර ගත යුතුය.යනුවෙනි. ඇසල මස පුරපසලොක්වක දා ඉසිපතනයේදී බුදුන් වහන්සේ තමන්ගේ මංගල ධර්ම දේශනාව පැවැත්වූ බව සංයුක්ත නිකායේ ධම්මචක්කප්පවත්තන සුත්තය අනුව පැහැදිලිකෙරේ. කොන්ඩඤ, බද්දිය, වප්ප, මහානාම, හා අස්සජී යන පස්වග මහනුන්ට කළ මෙම දේශනාවට චතුරාර්ය සත්‍යය අන්තර්ගතවේ. මෙහි සතරවන සත්‍යය වන්නේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යයයි. මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙසද දැක්වේ.


සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය හා සම්‍යක් සමාධිය මෙම අෂ්ටාංගික මාර්ගයයි.

අප මෙහිදී සකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ සම්‍යක් වචනය නොහොත් සම්මා වාචා යන සංකල්පයයි. විභංග පාලියෙහි දක්වා ඇති පරිදි:

තත්ථ කතමා සම්මා වාචා?


මුසාවාදා වේරමණී

පිසුනා වාචා වේරමණී

ඵරුසාවාචා වේරමණී

සම්ඵප්පලාපා වේරමණී

අයං වුච්චති සම්මා වාචා

මෙහි අර්ථය:- සම්මා වාචා කවරේද යත්, මුසාවාදයෙන් වැළකීමය, පිසුනාවාචයෙන් වැළකීමය, ඵරුසා වාචාවෙන් වැළකීමය, සම්ඵප්‍රලාපයේන් වැළකීමය යන මේවා සම්මා වාචා නම්වේ.

මෙම කරුණු ටිකක් විස්තර සහිතව විමසා බැලුවිට වෙබ් අඩවි මගින් මෙරට දහමට ලැදි යහ බෞද්ධයින්ව උද්වේගයට පත්කොට නැවත ලේ ගංගාවන් ගලන තත්වයක් ඇති කරන්නට වෙර දරන අඳබාලයින්ගේ ක්‍රියාවන් කොතරම් බෞද්ධ විරෝදීධ යන්න අවබෝධ කරගන්නට හැකි වනු ඇත.

මුසාවාදය

අන්‍යයන් මුලාවට පත් කරන වාචික අකුසල කර්මය මුසාවාදයයි. වෙබ් අඩවි හා අනෙකුත් මාධ්‍යයන් මගින් ඉදිරිපත්කරන අසත්‍යය තොරතුරුද මෙයට ඇතුලත්වේ. යම් පුද්ගලයෙක් මුසාවාදය පුරුදු පුහුණු කරන ලද්දේද හෙතෙම මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුෂ්‍ය ලෝකයෙහි උපන් කළ අන්‍යයන්ගේ නින්දා අපහාස ආදියට ලක්වේ. එසේම දුගඳ මුඛයක් ඇත්තෙක් වෙයි. අඥානයෙක් වෙයි, ගොළුවෙක් වෙයි. අප්‍රිය සිරුරක් ඇත්තෙක් වෙයි.

පිසුනාවාචා

සවන්දෙන තැනැත්තා කියන තැනැත්තා කෙරෙහි ඇති ඇතිකරගන්නා ප්‍රිය බවද, අනෙකා කෙරෙහි ඇති කරගනු ලබන අප්‍රිය බවද යන මේ වාචසිකව සිදු කෙරෙන අකුසල කර්මයට පිසුනාවාචා යැයි කියනු ලැබේ. හුදෙක් මෙයට කේලම යැයිද ව්‍යවහාර කරති. සමගියෙන් හා සමාදානයෙන් සිටින්නවුන්ගේ සමඟිය බිඳීම සඳහා ඇතැම්හු මේ අකුසල කර්මය කරති. වෙබ් දේශප්‍රේමීන්ගේ ප්‍රධාන අකුශල පථය මෙයයි. මෙවන් අය මරණින් මතු නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය ආදී කාම දුගතියෙහි උපදී. යම් හෙයකින් එයින් චුතව මනුසත් ලොව උපන් කළ, ඔහුට ප්‍රියයන්ගෙන් වෙන්ව විසීමට සිදුවේ.

ඵරුසාවාචා

කියන තැනැත්තා ද්වේෂ මුඛයෙන් කීමත්, අසන තැනැත්තා වේදනාවකින් හා ද්වේෂයකින් ඇසීමත් යන මෙම අකුසල කර්මය ඵරුසාවාචා නම්වේ. දුටු දුටුවන් නොරුස්සන ස්වභාවය ඇති ඇසීමට අප්‍රිය වුද නොරිසි වුද ස්වර ඇත්තෙක් වීම මෙහි ඵලයයි.

සම්ඵප්පලාපය

මෙහි සම්ඵ යනු හිත සුව විනාශ කර දමන, අර්ථ ශුන්‍යවූ කථාවයි. මෙම අකුසල කර්මයෙහි යෙදුනු පුද්ගලයා මරණින් මතු නිරයෙහි උපදින්නේය, ප්‍රේත ලෝකයෙහි උපදිනේය, එයින් චුතව මනුසත් ලොව උපන් කළ එකට එකක් නොගැලපෙන ශරීරවයන්ගෙන් යුත් බලන්නට ප්‍රිය නැති සිරුරකට හිමිකරුවෙක් වන්නේය.

වෙබ් අඩවි මගින් අසම්මා වාචා හි යෙදෙමින් කටයුතු කරන්නන්ට මෙවන් දරුණු විපාක විඳින්නට සිදුවන බව බුදු දහම උගන්වයි. අකුසලයට උපකාර කරමින් කටයුතු කරන්නන්ගේද තත්වය මෙයට වෙනස්විය නොහැක. රටේ අමාරුවෙන් දිනාගත් සාමය විනාස කරන්නට මෙම වෙබ් කාරයින්ට ඉඩ නොදෙන ලෙස අප ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

සාමයික සහජීවනය

සාමයික සහජීවනය යනු අන්තර් ආගමිකයින් හා අන්තර් ජනවාර්ගිකයින් අතර පවත්වාගෙන යායුතු යහ සම්බන්ධතාවයයි. බුදු දහම බිහිවූ යුගයේ භාරත දේශයේ පැවතියේ බහු ආගමික හා බහු ජනවාර්ගික සමාජයකි. විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස එහි විය. ඒ අවස්ථාව වනවිට භාරත දේශයේ මහාපරිමාණ ලෙස ව්‍යාප්තවී තිබුනේ බ්‍රාහ්මණ දහමයි. ඒ අතර විවිධ ආගමික දෘෂ්ටි ගරුකළ ශ්‍රමණ කණ්ඩායම්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන්, සහ වෙනත් තාපස යෝගී නිකායයන් එහි ක්‍රියාත්මකවිය. මේ අතර ෂට් ශාස්තෘ දර්ශනයන්ද විය. මේ හැම ආගමික සම්ප්‍රදායක්ම විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ. මොවුන් ඉදිරිපත් කල දෘෂ්ටි අතර බ්‍රාහ්මණ වාදය, ඊශ්වර නිර්මාණ වාදය, දේව වාදය, අධිච්ච සමුත්පත්ත වාදය, අහේතු අප්‍රත්ය වාදය, නියතිසංගතික වාදය, අකිරිය වාදය, සංසාර සුද්ධික වාදය, ශාස්වත වාදය, උච්ඡේද වාදය, දිට්ඨධර්මනිර්මාණ වාදය, මේ ආදී මත වාදයෝ එහි ප්‍රචලිතව තිබිණ.

මේ කාලයේ බුදුන් වහන්සේ සමගද වාද කිරීමට ඇතැම් බ්‍රාහ්මණ පඬිවරු පැමිණියහ. එවැනි මහා තාර්කිකයෙකි සච්චක බ්‍රාහ්මණයා. බුදුන් වහන්සේ මෙම සංකීර්ණ ආගමික රටාවේදී ක්‍රියා කලේ සාමයික සහජීවනය තහවුරු කරන ආකාරයටය. බුදුන් වහන්සේ මෙහිදී ප්‍රකාශකර සිටියේ හැම දෙයකම යථා භුතය හෙවත් යතාර්ථය මැනවින් ප්‍රත්‍යක්‍ෂ කරගත යුතු බවය. බ්‍රහ්මජාල සුත්තයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටි දෙසැටක් ව්‍යාප්තවී පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙලා දැකීමට ඉදිරිපත් නොවුහ. එසේම ඕනෑම ආගමික ගුරුවරයෙකුගේ ඉගැන්වීම්වල ඇති යහපත් ගුණාංග බුදුන් වහන්සේ අගය කළහ. උන්වහන්සේ නොයෙක් ආගමික ගුරුවරුන් වෙත ගියහ. ඔවුන් සමග සතුටු සාමීචියෙහි යෙදී සිටියහ. ඇතැම් ආරාමවලට බුදු රදුන් වැඩම කරවූ අවස්ථාවේ ඒ ආගමික ගුරුවරු තම ශිෂ්‍යයන් නිහඬ කරවා උන්වහන්සේව ගෞරවයෙන් පිළිගත්හ.

චුල සකුළුදායි පරිබ්‍රාජක ගුරුවරයා බුදුන් වහන්සේ තම ආරාමයට වැඩම කරනවා දැක සිය ශිෂ්‍ය පිරිස නිශ්ශබ්ද කරවීය. එසේම බුදුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ ආරාමයටද වරින් වර වැඩම කළහ. කලකට පසුව තම ආරාමයට බුදුන් වඩිනු දුටු වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ඉදිරියට ගොස් උන්වහන්සේව පිළිගෙන එන්න ස්වාමීනි, බොහෝ කාලයකින් මෙහි වැඩියේ, මෙන්න ආසනය, ඉදිගන්නැයි ගෞරවාන්චිතව ප්‍රකාශ කර සිටියේය (තේවිජ්ජ වච්ඡගොත්ත සුත්ත මජ්ජිම නිකාය). ආගමික මතභේද මත විරසකවී සිටි මේ යුගයේ බුදුරදුන් අනුගමනය කළ ආගමික සහනශීලිතාවය කුමක්ද යන්න මෙයින් පැහැදිලි කර ගැනීම අපහසු කාර්යයක් නොවේ. එයින් පැහැදිලිවන්නේ බුදුරදුන් කිසිම ආගමික සම්ප්‍රදායක් හෙලා නොදුටු බවය.

ආගමික නිකායයන් අතර බොහෝ විට මත ගැටුම් ඇතිවන්නේ එක් ආගමක් අත්හැර අනිත් ආගම වැළඳ ගැනීමේදීය. බුදුන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා ප්‍රසාදයට පත් ප්‍රධාන පෙළේ ජෛන ශ්‍රාවකයන් දෙදෙනෙකුවූ උපාලි ගෘහපතියා සහ සීහ සේනාපතියා බුදුන් සරණ යාමට ඉල්ලා සිටි විට උන්වහන්සේ ප්‍රකාශ කළේ ඉක්මන් නොවන ලෙසය. එහෙත් බුදුන් සරණ යාමට අවශ්‍ය බව ඔවුහු දැඩි ලෙස කියා සිටියහ. මෙහිදී බුදුන් වහන්සේ ඒ දෙදෙනාට කොන්දේසියක් ඉදිරි පත් කළහ. එම කොන්දේසිය තමන් බුදුන් සරණ ගියත් ජෛන ශාස්තෘවරයාට කළ සැළකිලි සංග්‍රහ ආදිය එසේම පවත්වාගෙන යාමට ක්‍රියා කළයුතු බවය. ඔවුහු එය පිළිගත්හ.

උදුම්බරික සීහනාද සුත්තයෙන්ද බුදුන් වහන්සේගේ ආගමික සහනසීලිතාවය මැනවින් ප්‍රකට වෙයි. එහිදී උන් වහන්සේ නිග්‍රෝධය, මා වරදවා තේරුම් ගන්න එපා. මා ධර්ම දේශනා කළේ කරුණු පැහැදිලි කර දීමටයි. ඔබ මාගේ ධර්මයට හරවා ගැනීමට නොවේයැයි ප්‍රකාශ කළහ. එයින් පැහැදිළි කළේ තමන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ අන්‍යාගමිකයන් තමන්ගේ දහමට හරවා ගැනීමට නොව ඔවුනට කරුණු කාරනා පැහැදිළි කරදීමට බව පැහැදිළි වෙයි. එහිදී බුදුන් වහන්සේ තව දුරටත් කරුණු පැහැදිලි කරමින්, ඔබේ ගුරුවරයා හෝ ඔබ හෝ විවේචනය කිරීමට මට අවශ්‍යතාවයක් නැත. ඒ සියල්ල දැනට තිබෙන විදියටම තිබේවා යැයි ද දන්වා සිටිසේක. මෙයින් පැහැදිළි වන්නේ බුදුන් වහන්සේ යහමග පෙන්වීමට දහම් දෙසු බවත් අන්‍යාගමිකයින් තමන් වෙතට හරවා ගැනීම පදනම කරගෙන දහම් නොදෙසූ බවත්ය.

ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමිකයෙකුට කවර වූ හෝ කාරණයක් උන්වහන්සේ පැහැදිළි කර දුන්නේ කාරුණිකත්වයෙන් හා මුදු මොලොක් භාවයෙන් යුක්තවය. උන්වහන්සේ කිසි විටෙකත් තම දේශනයෙන් අන්‍යයන් ප්‍රකෝපයට පත් නොකළහ. පැරණි බ්‍රාහ්මණ ආර්යවරු අභිඥාලාභීන් නොවුවද ඔවුන් සීලය හා සෘජු බව මැනවින් ප්‍රකාශ කළ අය හැටියට බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. එසේම, බුදුන් වහන්සේගේ ගෞරවයට පාත්‍රවූ වෙනත් දෘෂ්ටි අනුගමනය කළ අය වුහ. ජෝතිපාල, හත්තිපාල, කුද්දාලක, ආරක, සුනෙත්ත, යන ගුරුවරුන්ගේ ඉගැන්වීම් අනුගමනය කළ බොහෝ දෙනා ස්වර්ගගාමී වූ බව බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇත. ඔවුන් කාමභෝගී ජීවිතයෙන් වෙන්වූ අය වශයෙන් උන්වහන්සේගේ ගෞරවාදරයට පාත්‍ර වුහ. බුදුන් වහන්සේගේ ආගමික සහනසීලි තාවයෙන් පැහැදිළි වන්නේ සියළුම ආගමික දෘෂ්ටීන් කෙරෙහි දැක්වුයේ මිත්‍රශීලී සුහද ආකල්පයකි. දීර්ග වශයෙන් බුදු දහමේ සාමයික සහජීවනය පිළිබඳව කරුණු සාකච්චා කරන්නට අදහස් කෙරුවේ බුදුන් වහන්සේ හා උන්වහන්සේ විසින් පන් සාලිස් වසරක් තිස්සේ දෙසු දහම විකෘත කරමින් සමාජයේ වෛරය හා ද්වේශය වපුරන්නට වර්තමානයේ පිරිසක් ඉදිරිපත් වී ඇති හෙයිනි. අපට කොටි ත්‍රස්තවාදය පරාජය කරන්නට යුධ කරන්නට සිදුවුයේ ද්‍රවිඩ ජනයා සමග තිබු වෛරයක් නිසා නොවන බව සැවොම ඉතා හොඳින් දන්නා සත්‍යයකි. බුදු දහම හැම විටම අගය කරන්නේ කරුණාව හා මෛත්‍රිය පදනම් කරගත් සාමයයි. යුද්ධය තුලින් කෙනෙකුට ජය අත්වෙයි. එම ජයග්‍රහණය තවත් කෙනෙකුගේ වෛරය සඳහා හේතුවෙයි. පරාජිත පුද්ගලයා හැම විටම දුකට පත්වෙයි. එය යුද්ධයේ ස්වභාවයයි. බුදුන් වහන්සේ ඒ බව ධම්ම පදයෙහි දේශනා කර වදාළේ මෙසේය:

ජයං වෙරං පසවති

දුක්ඛං සෙති පරාජිතෝ

උපසන්තෝ සුඛං සෙති

හිත්වා ජය පරාජයං

අර්ථය: ජය ගන්නා පුද්ගලයා අනුන්ගේ වෛරය තමා වෙත යොමු කරවයි. පැරදුනු පුද්ගලයා දුකසේ වෙසෙයි. ජය පරාජය දෙකම අත්හැර සංසිඳීමට පත් පුද්ගලයා සුවසේ වාසය කරයි.

බුදුන් වහන්සේ ධම්ම පදයෙහි දේශනා කර වදාළ අයුරු ක්‍රෝධය, වෛරය පැරදවීම සඳහා කළයුතු ක්‍රියා මාර්ගයද පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

අක්කොධෙන ජිනේ කෝධං

අසාධුං සාධුනා ජිනේ

ජිනේ කදරියං දානෙන

සච්චෙන අලිකවාදිනං

අර්ථය: ක්‍රෝධ කරන පුද්ගලයාට ක්‍රෝධ නොකිරීමෙන් ඔහු පැරදවිය යුතුයි, හෙවත් ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය ජය ගත යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් පැරදවිය යුතුය. තද මසුරා යම් යම් දේ දීමෙන් ජයගත යුතුය. බොරු කියන්නාව ඇත්ත කීමෙන් පැරදවිය යුතුය.

දැනට වෛරය වැපිරීම සඳහා වෙබ් අඩවි මගින් කරගෙන යන්නාවූ ක්‍රියාවන් පිළිබඳව බුදු දහම පදනම් කරගෙන එහි ඇති මිනිසත් භාවයට නොහොබිනා තත්වය පැහැදිළි කරන්නට කරුණු ඉදිරි පත් කළෙමු. සැබැවින්ම මෙම වෙබ් අඩවි කාරයින් බුදු දහමේ නාමයෙන් දැනට කරගෙන යන්නාවූ අසත්පුරුෂ ක්‍රියාවෙන් අපහාසයට ලක් කර ඇත්තේ බුදුන් වහන්සේව හා බුද්ධ ධර්මයයි. බුදු දහම ත්‍රස්තවාදී දහමක් ලෙස මොවුන්ගේ ක්‍රියාකාරකම් මගින් ලෝකයාට හුවා දක්වා ඇත. මෙම තත්වය වහාම නැවැත්වීමට බලධාරීන් මෙන්ම සාමයට කැපවූ සියළු ලාංකීය ජනයා කටයුතු කළයුතුව ඇත.

යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතල ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන දේශ ද්‍රෝහීන්ව හඳුනා ගනිමු, බුදුන් වහන්සේට හා බුදු දහමට අපහාස කරමින් බෞද්ධ වෙස් ගත්තු වෙබ් වීරයින්ගේ ක්‍රියාකාරකම් නැවත්වීමට වහාම ක්‍රියාකරමු. පශ්චාත් යුධ සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතුව ඇත. වෛරය ක්‍රෝධය ඉවතලා සැමට සතුටින් සාමයෙන් ජීවත්වියහැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවතලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුල සියළු කරුණු සාමකාමීව විසඳා ගැනීමට අධිෂ්ටාන ශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියළු දරුවන් එකට අත් වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.

සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා

එස්. සරත්